තමන්ට අදාළ නැතත් ‘ඇස් පනාපිට ප්‍රශ්න පේනවනම්’ කෙළින්ම මට කියන්න‍‍

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2024-12-30) එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී කෝට්ටේ ප්‍රදේශයේ පවතින ගැටළු රැසකට ක්ෂණික විසඳුම් ලබා දීමට අවශ්‍ය උපදෙස් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ලබාදුන් අතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති වශයෙන් සහභාගී වූ පළමු සම්බන්ධිකරණ කමිටු රැස්වීමද මෙයයි.
මේ කමිටු රැස්වීම සඳහා ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා, නාගරික කොමසාරිස් ආර්.ඒ්.ශාලිකා එස් රණවීර මිය, සහාකාර ප්‍රාදේශීය ලේකම් එච් එම් විරාජි මිය ඇතුළු නිළධාරීන් රැසක් සහභාගී වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති චතුරංග අබේසිංහ මහතා,
” ප්‍රශ්න දිගටම ඇදන් යන්න බෑ. මාස 03ක් ඇතුළත වැඩ පිළිවෙල හදාගමු, ඊළඟට තියෙන්නේ අවුරුද්දක් ඇතුළත විසදන්න, සමහර විසදුම්වලට අවුරුදු තුන හතරක් යයි, නමුත් අද කතා කරපු බොහෝ දේවල්වලට මාස 06ක් ඇතුළත විසදගන්න පුළුවන්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රාජ්‍ය නිලධාරීන් මොන රේඛීය අමාත්‍යාංශයගේ මොන විදියට වැඩ කරත් එකට වැඩ කරන්න, මට මේක අදාළ නෑ මට මේක විසදන්න බෑ කියලා ඉන්න එපා. ඇස්පනාපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා පේනවනම් ඒක ඔ‌බේ විශය පථයට අදාළ නැත්නම් කෙළින්ම මට කියන්න. ඒ ප්‍රශ්න විසදන්න තමයි මම, ලේකම්තුමා ඇතුළු කණ්ඩායමක් ඉන්නේ ” යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.