ජලසම්පාදන කාර්යාලයේ පරිස්සමට තිබ්බ ‘රන් ආභරණ උස්සපු’ සේවක හොරු

ජල සම්පාදන මණ්ඩලයේ සහකාර ඉංජිනේරුවරියක විසින් කාර්යාලයේ ලාච්චුවක සඟවා තිබූ රුපියල් ලක්‍ෂ හතළිහක් පමණ වටිනා රන් ආභරණ සොරාගැනීම සම්බන්ධයෙන් සැකපිට එම කාර්යාලයේම සේවිකාවක ඇතුළු පුද්ගලයන් දෙදෙනකු මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජල සම්පාදන මණ්ඩලයේ කම්කරු සේවයේ නිරත 35 හැවිරිදි කාන්තාවක හා අලෙවි විධායකවරයෙකි.

මේ සම්බන්ධව පැමිණිලි කර ඇත්තේ නුගේගොඩ මිරිහාන එදිරිසිංහ පාරේ පදිංචි සහකාර ඉංජිනේරුවරියකි. ඇය වැඩි ආරක්‍ෂාව සඳහා තම නිවසේ තිබූ රුපියල් ලක්‍ෂ හතළිහක් පමණ වටිනා පවුම් විසි දෙකක රන් ආභරණ තොගයක් තමාගේ කාර්යාලයේ ලාච්චුවක තබා ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ දීය.

මේ සම්බන්ධව සහකාර ඉංජිනේරුවරිය විසින් පසුගිය 23 වැනිදා මිරිහාන පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් කණ්ඩායම් ඒ සම්බන්ධව විමර්ශන සිදු කර සැකකාරකාන්තාව හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඒ සමගම සොරකම් කරන ලද බව කියන රන් ආභරණ සොයා ගැනීමට ද පොලිසිය සමත්ව තිබේ.

මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.