අඩු මිල අරක්කු බෝතලය නිසා වෙන දේ මෙන්න

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා යෝජනා කර ඇති පරිදි අඩු මිල අරක්කු බෝතලයක් හදුන්වාදීම මගින් රජයට ලැබෙන බදු මුදල් වේගයෙන් පහළ යා හැකි බව ඇඩික් ආයතනය සැක පළ කර සිටී.

අඩු මිල අරක්කු බෝතල් හදුන්වාදීම සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කරමින් එම ආයතනය මේ බව සදහන් කරයි.

එම ලිපිය මෙසේය.

පසු ගිය දිනක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී මතු කළ ප්‍රධාන කාරණා 3කි.

  1. නීති විරෝධී මද්‍යසාර භාවිතය අවම කිරීම සඳහා නියමාකාරයෙන් නිෂ්පාදනය කරන ලද නීත්‍යානුකූල මද්‍යසාර  බෝතලයක් අඩු මිලට ලබා දීම.
  2. නීති විරෝධී මද්‍යසාර භාවිතය නිසා අහිමි වන බදු රජයට ලබා ගැනීම. 
  3. නීත්‍යානුකූල නොවන මද්‍යසාර නිසා ඇති වන සෞඛ්‍ය හානිය අවම කිරීමට, අඩු මිලට නීත්‍යානුකූල මද්‍යසාර බෝතලයක් හඳුන්වා දී නීත්‍යානුකූල නොවන මද්‍යසාර භාවිතා කරන්නන්ගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරගැනීම.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මෙම යෝජනාව, ඔහු අපේක්ෂිත ඉලක්ක කරා කිසිසේත්ම ළඟා විය නොහැකි විද්‍යාත්මක සාක්ෂි නොමැති යෝජනාවක් බව අවධාරණය කර සිටිමු. 

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ යෝජනාව තුළින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන්නේ කෙසේද යන්න පහත කරුණු වලින් සනාථ කිරීමට කැමැත්තෙමු.

  1. නීත්‍යානුකූල මද්‍යසාර වල මිල අඩු කිරීමෙන් නීත්‍යානුකූල නොවන මද්‍යසාර පාලනය කළ හැකි බව පැවසීම මිත්‍යාවක්.

කුමන භාණ්ඩයක වුවද ඊට ආදේශයක් ලෙස වෙළඳපොළට පැමිණෙන නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන භාණ්ඩ අනිවාර්යයෙන්ම එම නියම භාණ්ඩයේ මිලට වඩා පහළ අගයකින් වෙළදපොළ තුළ අලෙවි වේ. එසේ නොවුනහොත් එම ආදේශක භාණ්ඩයට වෙළදපොළ තුළ ඉල්ලුමක් නොමැති වේ.

කසිප්පු හෝ වෙන ඕනෑම නීත්‍යානුකූල නොවන මද්‍යසාරයක මිල, නීත්‍යානුකූල මද්‍යසාරවල මිලට වඩා පහළින් තබා ගත යුතු වේ. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා යෝජනා කරන පරිදි මිල අඩු මද්‍යසාර බෝතලයක් වෙළඳපොළට හඳුන්වා දීම කළහොත් සිදු වන්නේ එම මිලට පහළ අගයකින් නීත්‍යානුකූල නොවන මද්‍යසාර මිල පවත්වාගෙන යාමයි. 

එම නිසා නීත්‍යානුකූල මද්‍යසාර වල මිල පහළ දැමීමෙන් නීත්‍යානුකූල නොවන මද්‍යසාර පාලනය කළ හැකි බව මිත්‍යාවක් වන අතර එය මද්‍යසාර සමාගම් වලින් උගන්වන ලද බොරුවකි.

මෙය මිත්‍යාවක් බව මෑත ඉතිහාස‍ය ද සාක්ෂි දරයි. 1996 දී හිටපු මුදල් අමාත්‍යවරයා මෙවැනිම තර්කයක් ඉදිරිපත් කරමින් නීත්‍යානුකූල මද්‍යසාර පාලනයට යැයි පවසමින් බියර් බදු 50% කට වැඩි ප්‍රමාණයකින් පහත දමන ලදී. එයින් සිදු වූයේ 200% ට වඩා වැඩි අගයකින් බියර් භාවිතය වැඩි වීමයි. එවකට මුදල් අමාත්‍යවරයාගේ අරමුණ ඉටු වූවා නම් අද අපට නැවත මෙවැනි සාකච්ඦාවක් ඇති වීමට අවස්ථාවක් උදා නොවනු ඇත.

  • නීත්‍යානුකූල නොවන මද්‍යසාර නිසා රටට අහිමි වන බදු, අඩු මිලට නීත්‍යානුකූල මද්‍යසාර බෝතලයක් හඳුන්වා දීමෙන් වළක්වා ගත හැකි බව තවත් මිත්‍යා අදහසකි. ‍

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසන ආකාරයට අඩු මිලට නීත්‍යානුකූල මද්‍යසාර බෝතලයක් හඳුන්වා දීමෙන් සිදුවන්නේ, දැනට ඉහළ බදු යටතේ නීත්‍යානුකූල මද්‍යසාර භාවිතා කරන පිරිස් එම අඩු මිලට හඳුන්වාදෙන නීත්‍යානුකූල මද්‍යසාර සඳහා විතැන් වීමකි. එම තත්ත්වය තුළ ඉහළ බදු ප්‍රතිශතයක් තුළ අලෙවි වූ මද්‍යසාර වලින් රජයට ලැබුණු බදු ප්‍රමාණය ඉතා ඉහළ අගයකින් පහළ යනු ඇත. 

තවද නව යොවුන් වියේ පසුවන පිරිස්, මද්‍යසාර භාවිතය ආරම්භ කිරීමටද මෙම යෝජනාව මගින් දිරිගැන්වීමක් සිදු කරයි.

  • නීත්‍යනුකූල නොවන මද්‍යසාර නිසා ඇති වන සෞඛ්‍ය හානිය අවම කිරීමට, අඩුමිලට නීත්‍යානුකූල මද්‍යසාර බෝතලයක් හඳුන්වා දිය යුතුය, යන්න තවත් මිත්‍යා මතයකි.

ඉහත කරුණු වලින් අවධාරණය කළ ආකාරයට අඩු මිලට නීත්‍යානුකූල මද්‍යසාර බෝතලයක් හඳුන්වා දීමෙන් නීත්‍යානුකූල මද්‍යසාර භාවිතා කරන්නන්ගේ මිලදී ගැනිමේ හැකියාව වැඩි වෙන බැවින් ඔවුන්ගේ මද්‍යසාර භාවිතය වැඩි වේ. එමෙන්ම නීත්‍යනුකූල මද්‍යසාර මිලට අනුරූපව නීත්‍යනුකූල නොවන මද්‍යසාර වල මිල පහළ යාම නිසා එම භාවිතය ද ඉහළ යාමක් සිදු වේ.

එමගින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ඉහතින් බලාපොරොත්තු වූ තෙවන කාරණයද ඉටු නොවී මද්‍යසාර භාවිතය ඉහළ යාම නිසා භාවිතා කරන්නගේ ශාරිරික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය පිරිහීමත් ඔහුගේ පවුලේ සතුට සමගිය අහිමි වී ඔහුටත්, සමාජයටත්, රටටත් ඉතාම අහිතකර තත්වයක් ඇතිවේ.

මෙම තත්වය කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව රටේ සෞඛ්‍ය වියදම ඉහළ යාමටත්, වැඩකරන ජනතාවගේ ඵලදායීතාවය අවම වීමටත් සෘජුව අහිතකර ලෙස බලපායි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම අධ්‍යයනයන්ට අනුව කිසිදු මද්‍යසාරයක් කිසිදු ප්‍රමාණයකින් ශරීරයට හිතකර නොවන බව විද්‍යාත්මකව තහවුරු කර ඇත.

ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණ වලින් 10න් 8කටම හේතුවක් වන බෝ නොවන රෝග (NCD) ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 1 ක් ලෙස මද්‍යසාර භාවිතය පෙන්වා දී ඇත. රටක මද්‍යසාර පරිභෝජනය ඉහළ යාම එම රටේ මරණ හා රෝගාබාධ ඇති වීම ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකයක් බවට ද හඳුනාගෙන ඇත. 

මද්‍යසාර භාවිතය, දිනකට ශ්‍රී ලාංකිකයන් 50 දෙනකු පමණ මරණයට පත්කරන අතර වසරකට ශ්‍රී ලාංකිකයන් 20000ක් පමණ මරණයට පත්කරයි.

පසුගිය වසරේ අවස්ථා දෙකක දී 20%කින් සහ 14%කින් මද්‍යසාර වල බදු ඉහළ දැමීමක් සිදු කළ අතර එම බදු වැඩි වීම තුළින් රජයේ සුරාබදු ආදායම බිලියන 11.8 කින් වැඩි වීමක් සිදු වී ඇත. සුරාබදු දෙපාර්තුමේන්තුව සඳහන් කරන ආකාරයට සුරාබදු ආදායම මේ වසරේ රු.බිලියන 232 දක්වා වැඩි වී ඇත. එය ඉතිහාසයේ වැඩිම සුරාබදු ආදායම ලෙස ද වාර්තා වන බව ඔවුන් පවසයි.  තවද 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ මද්‍යසාර පරිභෝජනයද (ශුද්ධ මද්‍යසාර) ලීටර මිලියන 8.3කින් අඩුවීමත් සිදු විය. මෙම කාරණා දෙක රටේ ආදායම වැඩි වීමටත් සහ සෞඛ්‍ය වියදම අඩු වීමට ද බලපානු ඇත. මෙය රටට සෑම අතින් ම වාසිදායක තත්වයකි.

සුරා බදු ආදායම රටේ දැවැන්තම බදු ආදායම ලෙස හුවා දැක්වීමට උත්සාහ කළ ද මහ බැංකුවේ වාර්තාවන්ට අනුව රටේ බදු ආදායමෙන් මද්‍යසාර සුරා බදුවලින් සැපයෙන්නේ 11%කි. එය ද රටකට ආදායමක් නොව වියදමක් බව විද්‍යාත්මකව ඔප්පු වී ඇත.  2022 වසරේ මද්‍යසාර ආදායම රුපියල් බිලියන 165 ක් වූ අතර 2023 වසරේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සිදු කළ සමීක්ෂණයකට අනුව එම වසරේ අපේ රටේ මද්‍යසාර නිසා සිදු වූ සෞඛ්‍ය සහ ආර්ථික පාඩුව රුපියල් බිලියන 237කි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රටක සිදු විය යුත්තේ මද්‍යසාර සහ දුම්වැටි වල බදු ඉහළ දමමින් භාවිතය පාලනය කිරීම සඳහා කටයුතු කිරීමයි. දැනට මද්‍යසාර භාවිතා කරන පිරිස් භාවිතා කරන මද්‍යසාර ප්‍රමාණය අවම කිරීමටත්, අලුතින් පිරිස් මද්‍යසාර භාවිතය සඳහා යොමු වීම අවම කිරීමටත් ඇති ප්‍රතිඵලදායක ක්‍රමෝපායක් ලෙස සුරා බදු වැඩි කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන ආයතන විද්‍යාත්මකව තහවුරු කර ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ සහ එම දෙපාර්තුමේන්තුවේ වගකීම වන්නේ රටේ ජනතාව මද්‍යසාර භාවිතයෙන් රෝගීන් බවට පත් කරමින්, පවුල් ජීවිත විනාශ කරමින්, රටේ සිදුවන අනතුරු වැඩි කරමින්, දරුවන්ගේ සතුට, නිදහස උදුරා ගනිමින්, කාන්තාවන්ට සිදුවන හිංසනය ප්‍රවර්ධනය කිරීම නොවන බව පසක් කර දීමට කැමැත්තෙමු. ඔවුන්ගේ කාර්යය විය වුත්තේ මද්‍යසාර බදු නිවැරදිව අය කර ගනිමින් නීත්‍යානුකූල නොවන මද්‍යසාර  වැළැක්වීමට සහ වෙළඳපොළ තුළ ඇති සුරාබදු නොගෙවා අළෙවියට ඇති මද්‍යසාර හඳුනා ගැනීමත් ඒවා වෙළද පොළට නිකුත් කළ කූඨ ව්‍යාපාරිකයන් නීතියේ රුහැනට ගෙන ඒමත්, එවැනි තත්වයන් ඇති වීම වැළැක්වීමට කටයුතු කිරීමත් ය.

තවද නීත්‍යානුකූල නොවන මද්‍යසාර අවම කිරීමේ මුවාවෙන් මද්‍යසාර මිල අඩු කරමින්, රටේ ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කර මද්‍යසාර සමාගම් වලට වාසි සහගත තත්වයක් ඇති කරමින්, ජනතාව මද්‍යසාර උගුලේ සිර කිරීමට කටයුතු නොකළ යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය තරයේ අවධාරණය කර සිටිමු.

සම්පත් ද සේරම්,

විධායක අධ්‍යක්ෂ,

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය.