හොර සල්ලි මුද්‍රණය කළ චිත්‍රපට අධ්‍යක්ෂ මාට්ටු – ලොක්කයි පොඩ්ඩයි දෙන්නම හිරගෙදරට

දිගන ප්‍රදේශයේ රූගත කළ චිත්‍රපටියක අවශ්‍යතාවය සඳහා මුද්‍රණය කළ බව කියන ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු හතරක් රැගෙන භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාසල් සිසුන් හතර දෙනකු සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනයෙන් අනතුරුව එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ කලා අධ්‍යක්ෂක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළ බවයි.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර සහ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු වන අතර ඔවුන් 2021 වසරේදී “නාටාමි ආමි” නමින් චිත්‍රපටියක් නිෂ්පාදනය කොට ඇති අතර එම චිත්‍රපටයේ ජවනිකාවක අවශ්‍යතාවය සඳහා එම ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු මුද්‍රණය කොට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තෙල්දෙණිය ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ චිත්‍රපට ජවනිකා සඳහා එසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේදී ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයක් ගත යුතු බවත් මෙම චිත්‍රපටිය සඳහා මුදල් මුද්‍රණය කිරීමේදී එසේ අවසරයක් ගෙන නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

දිගන ප්‍රදේශයේ පාසල් සිසුන් හතර දෙනකු එහි වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගෙන ඒ සඳහා මුදල් ගෙවීමේදී ලබා දී ඇති රුපියල් 5000 මුදල් නෝට්ටුවක් සම්බන්ධයෙන් සැකසිතී එම වෙළඳසැලේ හිමිකරු තෙල්දෙණිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එම සිසුන් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී එම සිසුන් සන්තකයේ තිබූ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 57ක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අදාල චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ කලා අධ්‍යක්ෂක එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සිසුන්ට මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ලබා දුන් බව කියන පුද්ගලයාද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන සිදු කෙරෙමින් පවතී.

තෙල්දෙණිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි තෙල්දෙණිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමිත කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශය විසින් සිදු කිරීමට නියමිතය.