IMF පාර දිගේ ඉදිරියටම යන්න – ඇමරිකාව ලංකාවට අවධාරණය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී ඇති වැඩසටහන ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය බවත්, එම වැඩසටහන ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරිමට සහ ජීවන තත්වයන් ඉහළ දැමීමට වැදගත් වන බවත් නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඇමරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම ලෙස සැලකිය හැකි දකුණු සහ මධ්‍යම ආසියාව පිළිබදව වන සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ගේ සංචාරයෙන් පසුව ඇමරිකාව අවධාරණය කරයි.

ආර්ථිකය නැවත ප්‍රකෘති තත්වයට පත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හා කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව හා ලංකාවේ හවුල්කාරීත්වය පිළිබද ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේදී අවධානය යොමුව ඇත.

දූෂණ විරෝධී, වගවීමකින් යුත් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සදහා ඇමරිකාවේ සහාය හිමිවන බවද අවධාරණය කර ඇත.

දූෂණ විරෝධී වැඩසටහනට සහාය දක්වමින් නීති රාමු ශක්තිමත් කිරීම සදහා වන තාක්ෂණික සහාය ලබාදීම, නඩු පවරන්නන් සහ පරීක්ෂකයින් සදහා වන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වගවීම වැඩි දියුණු කිරීම සදහා රාජ්‍ය ආයතනවල ධාරිතාවය ඉහළ නැංවීමට ඇමරිකාව සහාය ලබාදීමට සූදානමින් සිටී. යහ පාලනය පිළිබද දැනුවත් කිරීම සහ ප්‍රවර්ධනය උදසො සිවිල් සංවිධාන දක්වන උත්සාහයට සහාය ලබාදෙන බවද ඇමරිකාව පවසයි.