කොළඹ වරාය හදන්න අදානිට ඇමරිකාවෙන් සල්ලි එපාලු

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සදහා කටයුතු කරමින් සිටින ඉන්දියාවේ අදානි සමාගම සහ ජෝන් කීල්ස් සමාගම ඇමරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාවෙන් මුදල් ඉල්ලා සිටියත් එම ඉල්ලීම ඉල්ලා අස්කරගත් බව උදානි පෝට් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමි සෝන් නම් සමාගම පවසයි.

මේ සදහා අවශ්‍ය ප්‍රාග්ධනය සමාගම අභ්‍යන්තරයෙන්ම උපයා ගැනිමට අපේක්ෂා කරන බව ඉන්දියාවේ බොම්බායි කොටස් වෙළද පොළට දැනුම්දි ඇත. ඒ නිසා ඇමරිකාවෙන් මුදල් ලබාගැනීමේ ඉල්ලීම ඉවත් කරගෙන තිබේ.

කොළඹ වරාය ව්‍යාපෘතිය සදහා ඩොලර් මිලියන 533ක් ලබාදීමට ඇමරිකාව සූදානමින් සිටියේය. ණය මුදලක් ලෙස මෙම ඩොලර් මිලියන 533ක් ලබාදීමට නියමිතව තිබුණි.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක දී ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ආයෝජකයින් නොමඟ යැවීම සම්බන්ධයෙන් අදානි සමාගමට චෝදනා එල්ලවී තිබූ අතර, එම චෝදනා එල්ලවුවත් කොළඹ වරාය ව්‍යාපෘතිය සදහා මුදල් ලබාදීමට ඇමරිකාවේ ජාත්‍යන්තර සහයෝගිතාව සූදානමින් සිටියේය.