වී වගාවේදී යොදන යුරියා පොහොර 65%ක් අපතේ යාම පිළිබඳව කෘෂිකර්ම ඇමති වාර්තාවක් ඉල්ලයි

වී වගාව සඳහා යොදන යුරියා පොහොරවලින් සියයට 65ක් අපතේ යන බවත්, වී වගාවේ දී ඵලදායි වන්නේ යොදනු ලබන යුරියා පොහොරවලින් සියයට 35ක ප්‍රමාණයක් බවටත් ඇතැම් පාර්ශ්ව විසින් ඉදිරිපත් කර ඇති මතය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කර එම මතයෙහි සත්‍යතාවයක් ඇත්ද යන්න සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

විශේෂයෙන් යුරෝපා සංගමයට අයත් රටවල්, චීනය, ඉන්දියාව මෙන්ම වියෙට්නාමය වැනි රටවල වී වගාව සඳහා යුරියා පොහොර භාවිතා කරන ප්‍රමාණයන් පදනම් කර ගනිමින් අදාළ වාර්තාවක් සකස් කරන ලෙසත්, යුරියා පොහොර යෙදීම සම්බන්ධයෙන් පළවී තිබෙන එම මතයෙහි සත්‍යතාවයක් පවතින්නේ ද යන්න විමර්ශනය කර බලන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

දැනට අප රටේ යුරියා පොහොර ප්‍රමිතිය සළකා බැලීමේ දී බයියුරේට් ප්‍රතිශතය 01ට වඩා අඩු යුරියා පොහොර පමණක් වී වගාව සඳහා යොදා ගැනීමට නිර්දේශ කෙරේ. නමුත් චීනය, මහා බ්‍රතාන්‍ය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය පවා යුරියා පොහොරවල බයියුරේට් ප්‍රතිශතය සලකන්නේ 1.5ට වැඩි ප්‍රමාණයකි.

එමනිසා දැනට අපේ රටේ භාවිතා කරන යුරියා පොහොරවල ප්‍රමිතිය ආරක්ෂා කර ගනිමින් වගාවන් සඳහා යොදන යුරියා පොහොරවලින් සියයට 100ක්ම වඩාත් ඵලදායිව යොදා ගැනීම සඳහා විද්වත් කමිටුවක නිර්දේශ ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *