ජනතාව බලාපොරොත්තු වන විදියට තෙල් මිල අඩු කරන්න බෑ – තෙල් සංස්ථාවේ සභාපති කියයි

ජනතාව බලාපොරොත්තු වන ආකාරයට ඉන්ධන මිල අඩු කළ නොහැකි බව ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සභාපති ඩී.ජේ. රාජකරුණා සදහන් කරයි.

දේශපාලන හේතූන් මත ඉන්ධන අලෙවිය විදේශීය සමාගම් හතරකට පවරා තිබීම නිසා මෙලෙස ඉන්ධන මිල අඩු කළ නොහැකි බවද ඔහු පැවසුවේය.

ඉන්ධන මිල අඩු කළහොත් අදාල සමාගම්වලට සිදුවන පාඩුව බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙවිය යුතු බව අදාල සමාගම් ඇතිකරගත් ගිවිසුම්වල සදහන් වන බවද ඔහු කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මැතිවරණ වේදිකාවලදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියෙක්ට රුපියල් පනහක කොමිස් මුදලක් යන බව කීවත් තමන් ඒ ගැන තොරතුරු නොදන්නා බැද ඔහු සදහන් කළේය. ඒ ගැන දවසින් දෙකෙන් සොයා ගැනීමට නොහැකි බවද පැවසුවේය. මේ ගැන සොයා බැලීමට කටයුතු කරන බවද ඔහු කීය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වීමට පෙර අනූ දෙක පෙට්‍රල් ලීටරයක් රුපියල් පනස් දෙකකට ලබාදිය හැකි බව පැවසුවත් මිල අඩු නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදීහු සභාපතිවරයාගෙන් ප්‍රශ්ණ කළහ. එයට පිළිතුරු දුන් සභාපතිවරයා පැවසුවේ තෙල් මීල තීරණය කරන්නේ ලෝක වෙළදපොලෙන් බව කීවේය. තෙල් ගොඩ බෑමේ මිල ලෝක වෙළදපොලෙන් තීරණය වූ පසුව එයට අය කරනු ලබන බදු මුදල පාර්ලිමේන්තුවෙන් තීරණය කරන බවද එය තීරණය කිරීමට පාර්ලිමේන්තුව රැස් විය යුතු බවද ඔහු පැවසීය. බංකොලොත්වූ රටකට එක රැයෙන් ගොඩ ඒමට නොහැකි බවද ඔහු සදහන් කළේය.

තමන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා නිසා බදු ගැන තීරණයක් ගත නොහැකි බවද එය මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කළ යුතු බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.