“ජනපතිතුමනි හෙට වෙනකන් විතරයි කල් තියෙන්නේ”- “හිරේ ගියත් මම පාස්කු වාර්තාව එලියට දානවා”

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය හෙට (21) උදෑසන 10න් අවසන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටිනවා.

“පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මම ජනාධිපතිවරයාට ලබා දී තිබූ කාලය හෙට උදෑසන 10න් අවසන් වෙනවා. එතකොට හෙට උදේ 10 වනතුරුත් ජනාධිපතිවරයාට කාලය තියෙනවා මේ වාර්තා ප්‍රසිද්ධ කරලා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදුන්න වගකීම ඉටුකරලා තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අවදානම මඟහැර ගන්න. හැබැයි ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය උල්ලඝනය කරමින් හෙට උදෑසන වනවිටත් මේ වාර්තාව ලබාදීම පැහැර හැරියහොත් අනිවාර්යෙන් මම ඒ වාර්තා ඉදිරිපත් කරනවා.”

තවදුරටත් අදහස් දැක්වූ එතුමා කියා සිටියේ,

“අනුර කුමාර මන්ත්‍රීතුමා පාස්කු වාර්තාව එළිදැක්විය යුතු යැයි කියද්දී ඒකට සහාය දැක්වූ සිරිල් ගාමිණී පියතුමා දැන් බියට පත්ව සිටිනවා. මාලිමාවේ නායකයන් සමඟ එතුමත් කතෝලික ජනතාව රැවටීමට ලක් කලාදැයි අපිට සැකයක් මතුවෙනවා.
සිරිල් ගාමිනී පියතුමනි, මෙම වාර්තාවල තියෙන ඇත්ත දැනගැනීමේ අයිතියේ ඒකාධිකාරය ඔබතුමාලට නෑ….”

“මාව අත්අඩංගුවට පත්වුණත් ඉම්රාන් කාන් සිරගෙදර සිට AI තාක්ෂණය ඔස්සේ මැතිවරණය මෙහෙයවීම සිදුකරා සේම මම සිරගෙදර සිටද මෙම වාර්තාව එලිදක්වනවා.”