ශ්‍රීලංකන් ගුවන්සේවය විකුණයිද ? තීරණය මෙන්න

ශ්‍රීලංකන් ගුවන්සේවය විකිණීමට තිබුණ සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතාව උපුටා දක්වමින් TTG Asia වෙබ් අඩවියේ වාර්තා වෙනවා.

එම ආයතනය වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් කරන බව ගනේගොඩ මහතා පැවසූ බවද එහි සඳහන් වෙනවා.

වසර ගණනාවක් පුරා ශ්‍රීලංකන් ගුවන්සේවය පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය විසින් එහි කොටස් මිලදී ගැනීම සහ කළමනාකරණය සඳහා ලංසු කැඳවා තිබෙන අතර එම සැලසුම යටතේ ගුවන්සේවයේ කොටස් 51% රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකීනමටද නියමිතව තිබෙනවා.

එයට පාර්ශ්ව 6ක් සිය කැමැත්ත දන්වා තිබුණද එම ක්‍රමවේදයේ ඊළඟ පියවර සඳහා ඉන් කිසිවෙකුත් සුදුසුකම් ලබා නොමැති බවයි වාර්තා වෙන්නේ.

2022 අප්‍රේල් සිට 2023 මාර්තු දක්වා වූ කාලය සඳහා මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී ඇති අතර එහි එකතු වී ඇති ණය ඩොලර් බිලියන 1.2ක් ලෙස දැක්වෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවය මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා වැදගත්ම සාධකයක් බව ද ගනේගොඩ මහතා පවසා තිබෙනවා.

මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 50%ක් පමණ ශ්‍රීලංකන් ගුවන්සේවය භාවිත කිරීමෙන් පැමිණෙන අතර 2024 සඳහා සංචාරකයින් මිලියන 2.3ක් ඉලක්ක කරන ශ්‍රී ලංකාව 2030 වනවිට එම ප්‍රමාණය මිලියන 3 දක්වා ඉහළ දමාගැනීමට සැලසුම් කරමින් සිටිනවා.