10,000ක් නොදුන්නැයි උරණ වී කාන්තාවකගේ ගෙල පාගා ඝාතනය කරයි

80 හැවිරිදි කාන්තාවකගේ ගෙල පාගා හුස්ම හිරකර ඝාතනය කළ සැකකරුවෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුරිය මහත්මිය නියෝග කළා.

ඒ රුපියල් 10,000කමුදලක් ඉල්ලා අදාළ කාන්තාව එය ලබානොදීම හේතුවෙන් උරණ වී ඇති බව පොලිසිය පවසනවා.

අදාළ සැකකරු ත්‍රිරෝද රථයකින් බැස එම කාන්තාවගේ නිවසට පැමිණ එම කාන්තාවගෙන් ගලවාගත් කරාබු යුගලය හෙට්ටිවිථීයේ පිහිටි සාප්පුවකට විකුණන අයුරු cctv කැමරාවල සටහන්ව තිබෙනවා.

සැකකරු මියගිය කාන්තාවගේ දියණියගේ සැමියාට අයත් ගොඩනැගිලි ද්‍රව්‍ය ආයතනයක වැඩකළ සේවකයෙක් ද වනවා.

ඔහු නිවසට යන බව පවසා නිවාඩු ගෙන නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවේදී කොට්ටාව මාලබේ පාරේ හතරමං හන්දිය ආසන්නයේ පිහිටි නිවසට පැමිණ එහි සිටි 80 හැවිරිදි කාන්තාවගෙන් රුපියල් 10,000ක මුදලක් ඉල්ලා තිබෙනවා.

ඇය එම මුදල ලබානොදීම නිසා උරණ වී එම කාන්තාවගේ කරාබු යුගලය ගලවා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

පසුව අදාළ සැකකරු කාන්තාව බිම දමා පාදයෙන් ගෙල පාගා හුස්ම හිර කොට ඝාතනය කර ඇය පැළඳ සිටි කරාබු යුගලය ගලවාගෙන ගොස් හෙට්ටි විථියේ රන් භාණ්ඩ අලෙවිසැලකට එය විකුණා රුපියල් 5,000ක් ගෙන නිවසට ගොස් තිබෙනවා.

එම සැකකරු ආණමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙක් වන අතර ඔහුව නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.