ඉන්න බැරි සේරම යන්න – ජනපති ගත් දැඩි තීන්දුව

එළැඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබානොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට ඉවත්ව යන ලෙසට දැනුම්දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේවෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ ඔහුට සහාය දක්වන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව බවයි.

එහිදී මැති ඇමතිවරු ඇතුළු පක්ෂ සංවිධාන පෙන්වාදී ඇත්තේ මේ මොහොතේ තීරණාත්මකව ජනාධිපතිවරයාට සහාය නොදක්වන පිරිස් ආණ්ඩුවේ නමින් තබාගෙන සිටීම කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බව සහ ඔවුන් තමන් මැතිවරණය සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ විරුද්ධ පාර්ශව වෙත ලබාදෙමින් දේශපාලන සූදුවක නිරතවන බවයි.

එම නිසා තීරණාත්මක මොහොතේ සහාය නොදක්වන පිරිස ඉවත්කර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු තමන්ට නිදහසේ කරගෙන යාමට අවස්ථාව සලසන ලෙස මේ පිරිස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා තිබෙනවා.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඊයේ (05) රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේද මේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.

එසේම තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මෙන්ම හඳුනාගත් මන්ත්‍රීවරුන් පිරිසකට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකර ඇති බවත් දැනගන්නට ලැබී ඇති අතර ඒ ජනාධිපතිවරණය තීරණාත්මක අදියරකට පැමිණ ඇති මොහොතේ ආණ්ඩුවේ කියා වැනෙමින් නොසිට තීන්දුවක් ගන්නා ලෙසටයි.

මෙම දැනුම්දීම අනුව රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු තමන්ව ධුර වලින් ඉවත් නොකරන ලෙසත් ඒ වෙනුවට ඉල්ලා අස්වීමට අවස්ථාව ඉල්ලා ඇති බවද දැනට සඳහන් වනවා.