දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එසේම ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (35-45) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කෙසේවෙතත් දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවත් අද දින (06) දහවල් 12:08 ට හික්කඩුව, වලස්මුල්ල සහ හම්බන්තොට ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.