පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගිවීමට පැරිස් නුවර බලා පිටත්ව ගිය 25 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකුගේ පුහුණුකරුවන් ඇතුළත් කර නොගැනීම පිළිබඳ ජාතික පැරාඔලිම්පික් කමිටුවට එම ක්ෂේත්රයේ දැඩි අප්‍රසාදය පළ වී ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අටදෙනකු ඇතුළත් වන අතර, ඔවුන්ගෙන් පස්දෙනකුගේ පුහුණුකරුවන් පමණක් සංචාරයට එක්වීමේ අවස්ථාව ලැබී තිබූ බව වාර්තා වනවා.
සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනාට සිය පුහුණුකරුවන් නොමැතිව තරග වැදීමට සිදුවී ඇති බව එම පුවත්පත වාර්තා කරනවා.
ජාතික පැරාඔලිම්පික් කමිටුවේ නිලධාරින්ගේ අවශ්‍යතාව පරිදි පුහුණුකරුවන් තිදෙනා සංචාරයෙන් ඉවත දමා ඇති බවත් , සිය පුහුණුකරුවන් නොමැතිව පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගිවීමට සිදු වීම එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසිකත්වයට දැඩි ලෙස බලපාන බවත් එම පුවත්පත වැඩිදුරටත් පවසනවා.
මෙවර පැරාඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ මීටර් 1500 (ටී.46) තරගයට එක්වන ප්‍රදීප් සෝමසිරිගේ පුහුණුකරු සජිත් ජයලාල්, දුර පැනීමේ තරගයට එක්වන (ටී.47) ධනනි ධනංජනාගේ පුහුණුකරු නලින්ද සෙනරත් සහ මීටර් 100 තරගයට (ටී. 42) එක්වන අනිල් ප්‍රසන්න ජයලත්ගේ පුහුණුකරු විමුක්ති සොයිසා සංචාරයෙන් කපා දමා ඇති අතර, සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඔවුන් මේ වන විට සිය පෞද්ගලික මුදලින් පැරිස් නුවර බලා යෑමට දැඩි උත්සාහයක නිරත වන බව සඳහන් වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත්, භෞත චිකිත්සක ලෙස සම්පත් ශ්‍රී බණ්ඩාර, කළමනාකරු ලෙස බ්‍රිගේඩියර් ධනංජය අලුදෙණිය සහ වෛද්‍ය නිලධාරී ලෙස වෛද්‍ය චතුර එදිරිසිංහ මහත්වරුන්ට අමතරව උපදේශකවරුන් හා සම්බන්ධීකරණ නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් ලෙස තවත් නිලධාරීන් 8 දෙනකු පැරිස් නුවරට යෑම ක්ෂේත්රය තුළ දැඩි කතාබහට ලක්වී ඇති බවත් වාර්තා වනවා.
ඒ අතර පැරාලිම්පික් කමිටුවේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් රාජිත අම්පෙ මොහොට්ටි සහ දුනුවිදීමේ සංගමයේ හිටපු සභාපතිවරයකු වන රජීව් වික්‍රමසිංහ මහත්වරුද සමඟ රාජ්‍ය නිලධාරීන් වන ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු, ගාමිණී කොස්තා සහ නාමල් සිල්වා යන මහත්වරු ද සිටිනවා.