T 20 කාන්තා ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් කාලසටහන

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත විස්සයි 20 කාන්තා ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICC ය විසින් ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, මෙහි මූලික වටය තරග A හා B ලෙස කාණ්ඩ දෙකකින් සමන්විතයි.

A කාණ්ඩයෙන් වත්මන් ශූරයන් වන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි.

B කාණ්ඩයට අයත් වන්නේ දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ස්කොට්ලන්තයයි.

තරගාවලිය ඔක්තෝබර් මස 03 වනදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය පාකිස්තානය සමඟින් එදිනට පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය මෙම තරගාවලියට ඍජුව සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ කණ්ඩායම් දෙක වන අතර, ඔවුන් මෙම වසර ආරම්භයේදී අබුඩාබිහිදී පැවති මෙම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගනිමින් එම අවස්ථාව උදාකරගෙන තිබෙනව.

ශ්‍රී ලංකාව එම තරඟයේ ශූරයන් බවට පත්වුණා.

කාන්තා විස්සයි 20 ලෝක කුසලානයේ 9 වන අදියර ලෙසින් මෙය බංග්ලාදේශයේ පැවැත්වීමට සැලසුම්කර තිබුණා.

කෙසේ නමුත් ඉකුත් දින කිහිපයේදී බංග්ලාදේශය තුළ හටගත් දේශපාලන අරාජිකත්වය හේතුවෙන් එහි සත්කාකරකත්වය බංග්ලාදේශයෙන් ඉවත්කර එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගනෙ යාමට ICCය කටයුතු කළා.