ලක්ෂ 28ක ඡන්ද ලැබෙද්දී හිටපු සජබ මන්ත්‍රීවරු 14ක් දැන් සජිත් එක්ක නෑ – තවත් ටිකක් ඉස්සරහට ගැළවෙනවා -මනුෂ නානායක්කාර

රට කරවූ මහ උන්දලා කළ පව් වසර දෙකකදී සමා කිරීමට වත්මන් ආණ්ඩුවට එකතු වී දේශපාලනය කළ මන්ත්‍රීවරුන්ට හැකි වූ බව හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය කී සැණින් ගමේ එක්සත් ජාතික පාක්ෂිකයා ඔහු වටා එක් වූ බව ජනාධිපති කම්කරු හා විදේශ රැකියා උපදේශක මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) බේරුවලදී පැවති තරුණ සමුළුවට සහභාගි වෙමින්.

හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සහාය ගන්නා අතරතුර, ඇගේ පියා ඝාතනය කිරීමේ චෝදනා ලත් පාර්ශ්වයක මාධ්‍ය නාලිකාවකින් සහාය ගන්නා සජිත් ප්‍රේමදාස කරන්නේ ග්‍රාම්‍ය, ජඩ දේශපාලනයක් වන බවයි තරුණ සමුළුව අමතමින් ඒ මහතා සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති කම්කරු හා විදේශ රැකියා උපදේශක මනූෂ නානායක්කාර මහතා පැවසුවේ ,

“ඕන වෙලාවේ බෙල්ල තියලා, දෑත බැදන් හිටි පොදුජන පෙරමුණෙන් එළියට බැහැලා. ඒ කණ්ඩායමෙන් මුලින්ම බය නැතිව ඉදිරිපත් වුණ පුද්ගලයෙක් හැටියට පියල් නිශාන්ත මහතා හඳුන්වන්න පුළුවන්. අලුත්ගම කියන්නේ රට, ජාතිය, ආගම එකතු කරන්න ඕන කියන අදහසින් ඉන්න අය ඉන්න තැනක්.

මට මාධ්‍ය මිතුරෙක් කතා කරලා කිව්වා අවුරුදු දෙකකට කලින් ජවිපෙ උඩ හිටියා. ඒ අයත් සජබෙත් දැන් බැහැලා බව. දැන් ගම්වල යූඑන්පීකාරයෝ ටික රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක එකතු වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේක්ෂයා කියන්න කලින් සජබෙ පොළවෙ හැපි හැපි කිව්වා රනිල් ඉල්ලන්නේ නෑ, කැට තියෙනවා කියලා. මේ සියල්ල ඉවර වෙලා රනිල් ඇප තැන්පත් කරලා, නාම යෝජනා දුන්නා විතරයි, සිලින්ඩරය ලකුණින් එනවා කිව්වා විතරයි, කැම්පේන් එක දැන් රනිල් වික්‍රමසිංහ දිහාට කැරකුණා. මේ වෙනුවෙන් ගම්වල ජන මතය හදන්න පළවෙනි පියවර පියල් නිශාන්ත මහතා තැබුවා.

සමගි ජන බලවේගය පට්ට සමබර කණ්ඩායමක්. විල්පත්තුව කපපු රිශාඩ්, ඒකට විරුද්ධ වුණ පොහොට්ටුව, බැඳුම්කර මගඩිය කියලා පොත් ලියපු සුජීව සේනසිංහ, මහදවල් කොල්ල කෑව කිව්ව ඩලස්, කෝප් කමිටුව ෆුට් නෝට් වාර්තා අජිත් පී. පෙරේරා, ඔට්ටුවලින් ක්‍රිකට් කෑවා කිව්ව අර්ජුන, ඔට්ටු දාපු තිලංග, පාස්කු ප්‍රහාරයට හිනා වුණ අය, ඒ ගැන මාධ්‍ය ඉස්සරහා වුණ දේ කිව්ව මනෝ ගනේශන්, ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගැනීම ටින් ටින් වැඩක් කිව්ව චම්පික, ඉංග්‍රීසියෙන් කතා කරන සජිත්, ආර්ථිකය ගැන මේක බ්ලූ ප්‍රින්ට් එක නෙමේ කිව්ව ගොඩහේවා, මේක තමයි බ්ලූ ප්‍රින්ට් කිව්ව හර්ෂ ද සිල්ව වගේ ඔක්කොම ඒකේ ඉන්නවා.

හර්ෂ ද සිල්වා මීට අවුරුදු 02කට කලින් කිව්වා මහබැංකු අධිපති එක්ක කතා කරලා ‘තත්ත්වය මරණීයයි, ශ්‍රී ලංකාව බේරගත යුතුයි’ කියා . හැබැයි සුජීව කියනවා ‘අපි බාර නොගත්තේ හොරුත් එක්ක යන්න බැරි’ නිසා කියලා. ඕක නෙමෙයි ඇත්ත කතාව. ගෝඨාභය රාජපක්ෂ එක්ක ලියුම් ලිව්වේ, හුවමාරු කළේ අපි. අපි මේක ගන්න හිටියේ. නොගන්න හේතු කියන්න ඕනකමට හොරුත් එක්ක බෑ කිව්වා. ඒ අය හොරු නම් එදා හොරු හදපු, හොරු බලයට ගෙනාපු ඩලස්, ජී.ඇල්, නාලක ගොඩහේවා වගේ අය අද ඉන්නේ.

මහබැංකු අධිපති එක්ක පැය තුනක් සාකච්ඡා කරලා එළියට ඇවිත් කිව්වා බෑ කියලා. මේක අමාරු බව කිව්වම තමයි දුවන සපත්තු දාලා දුවන්න පටන්ගත්තේ. ඔය කාගෙත් කකුල් වෙව්ලුවා. මමයි හරිනුයි විතරයි එළියට බැස්සේ. හැබැයි අද සජබෙන් 14 ක් එළියට බැහැලා ඉවරයි. වෙල්ගම මහතාත් එක්ක ලක්ෂ 28ක් ගද්දි හිටපු මන්ත්‍රීවරු 14 ක් එළියට බැහැලා ඉවරයි. හෙට අනිද්දා වෙනකොට අනිත් පැත්තෙන් සජබෙ ගොඩ නගපු තව 04 – 05 ක් එළියට බහිනවා . අද රට, ජාතිය, ආගමට කලින් මිනිසුන්ගේ ජීවිත බේරගන්න ඕන වෙලාවයි මේ ඇවිත් තියෙන්නේ.

අවුරුදු 02 ක් පියල් නිශාන්ත ඇතුළු මන්ත්‍රී කණ්ඩායම 2020 දි වැටුණ රට ගොඩගන්න මහා පුණ්‍යකර්මයට අත ගැහුවේ. හැමෝම කිව්වට කවුද දැන් ඉන්න හොරු. කවුද ඉන්නේ උසාවියෙන් වැරදිකාරයො වුණ අය. ඇති එක්කෙනෙක් දෙන්නෙක්. මිනිස්සු අතරත් එහෙම ඉන්නවා. රටේ නැද්ද ඒ වගේ මිනිස්සු. මිනිස්සු අතරත් ඉන්න නියෝජනයක් පාර්ලිමේන්තුවෙ ඉන්නේ. අවුරුදු දෙකක් ඇතුළත අනික් මහ උන්දලා කළ පවුත් සමා කරන්න මේ ආණ්ඩුවට හයිය දුන්න මන්ත්‍රීවරුන්ට පුළුවන් වුණා. වැරදි වුණ අය, කණ්ඩායම් අය ඉන්න ඇති. අද ඒ වැරැද්දට හරියන්න මිනිසුන්ගේ ජීවිත බේරලා දෙන්න කළ යුතුකම ඇති අවුරුදු 30 – 40ක දේශපාලනයට වඩා. ඔවුන් ලොකු හයියක්, කැපවීමක් දීලා ඇති.

මේ ගැලපීමේ තව එකක් තියෙනවා. තාත්තා මැරුවා කියලා සාධාරණය ඉල්ලන හිරුණිකා ඇයත් සජිත් වෙනුවෙන් වැඩ කරනවා. ඒ තාත්තගේ ඝාතනයට වග කිව යුතු බව කියන හිරේ ඉන්න පුද්ගලයෙකුට සම්බන්ධ මාධ්‍ය නාලිකාවකුත් සජබෙ වෙනුවෙන් අද වැඩ කරනවා. කඩේ යනවා. පුදුම සමබරතාවයක්. මෙහෙම සමබරතාවයක් තියාගන්න සාමාන්‍ය මිනිහෙකුට බෑ. එක පැත්තකින් චම්පික තියාගන්න, අනිත් පැත්තෙන් රිශාඩ් තියාගන්න, දුමින්ද, හිරුණිකා තියාගන්න කෙනා සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි. ඒ මිනිහා අන්තිම ජඩයෙක් වෙන්න ඕනේ. කාවද රවට්ටන්නේ. බොහොම ග්‍රාම්‍ය දේශපාලනය කරන කෙනෙකුට තමයි මෙහෙම කරන්න පුළුවන්.

දේශපාලන සවිඥානික වීම තරුණයින්ට වඩා වැදගත්. නෙගටිව් අදහස් බෝ කරන්න ලේසියි. එත් පොසිටිව් වීමයි වඩා වැදගත්. මේ ප්‍රදේශයේ 2019 ඉඳන් වැටිලා තිබුණ සංචාරක කර්මාන්තය 2022 – 23 වෙද්දි තමයි ගොඩ නැගුණේ. මෙහේ මියුසිකල් ශෝස්, පාටි කොයිතරම් තියෙනවද, රුසියාවෙ ඉඳලා මෙහෙට වැඩිම සංචාරකයෝ එන්න පටන් අරගෙන. සින්දුවක් කියන්න, අහන්න, ඩාන්ස් දාන්න නැතිව පෝලිම්වලට යන්න තරුණයො සූදානම්ද . ෆෝන් එකත් එක්ක අද සමාජය ටිකක් කම්මැලි වෙලා තියෙනව. ඔබට ආයෙත් පෝලිම්වල අමාරුවෙන් ඉන්න ඕනද .

තරුණ ඔබ කල්පනා කරන්න ඕන ඒක. පොරොන්දු දේශපාලනය ඕන නෑ, යථාර්ථය තේරුම් ගැනීමයි ඕන. තරුණයින්ට යථාර්ථය තේරෙනවා. මේක එක රැයකින් ගොඩගන්න බෑ කියලා අපි හැමෝම දන්නවා. අවුරුදු 02කට කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා මේක අමාරුවෙන් ගොඩ දාන්නේ කියලා. ඒක ගොඩ දැම්මා. ඉතුරු ටික අමාරු ගමනක් තියෙනවා. ඒකට හෙට බඩු මිල අඩු වෙයි කියන එක හිතාගෙන යන්න ක්‍රමානුකූලව යන ගමනක් තියෙනවා. ඒ ගමන යන්නයි අපිට ඕන. අපිට ඕන තරුණයෝ ව්‍යවසාකයින් විදිහට වැඩ කරන්න. රටේ සංචාරක කර්මාන්තය තව දියුණු කරන්න. මේ කළාපයේ සංචාරක කර්මාන්තය ගොඩදාන්න පුළුවන්.

ජවිපෙ දොස්තර නලින්ද ජයතිස්ස රාජ්‍ය ව්‍යාපාර කරනවා කියද්දි හරිනි නෑ කියනවා. මේ වගේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නැති අය ආවොත් රට ඉස්සරහට යයිද. රට කඩාගෙන වැටෙයි. අනාගතය කඩාගෙන වැටෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේද. එතුමා සියල්ල කැප කරලා තියෙන්නේ. නැති වෙන්නේ විදුර වික්‍රමනායකගෙ, මගෙ, පියල් නිශාන්තගේ අනාගතයද. නැති වෙන්නේ තරුණයගේ අනාගතය. තරුණයාගේ අනාගතයටයි බාධා වෙන්නේ. එයාලට තමයි නැවත පෝලිම්වලට යන්න වෙන්නේ. බලාපොරොත්තු සුන් වෙන්නේ. ඔවුන්ටයි රටෙන් එළියට යන්න වෙන්නේ.

මීට අවුරුදු 02කට කලින් රටින් කොහොම හරි පනින්න හිටපු වෙලාවේ අම්බලන්තොට ජවිපෙ මන්ත්‍රී කෙනෙක් මියන්මාරෙට තරුණයින් යැව්වා. ඒ වෙලාවේ කොරියාව, ඊශ්‍රායලය, ජපානෙට අපි තරුණයින් යැව්වා. එහෙ යැව්ව ඊශ්‍රායලයට ගිය ජවිපෙට සම්බන්ධ අය උද්ඝෝෂණය කරන්න ගත්තා. ඊශ්‍රායලයේ කෘෂිකර්ම කෝටාව නවතින තත්ත්වයට ආවා. ඒ අය නිතර අහනවා දැන් එන අය කලින් ආව පිරිස වගේද කියලා. කොරියාව වැඩ කරන්න ආව අයත් විවිධ වැඩ පටන් අරන්. ලංකාවේ අය නොගන්න තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.

මේ රටේ විතරක් නෙවෙයි අනිත් රටවලුත් විනාස කරන්න ඒ අය උත්සාහ කරනවා. ජවිපෙ මාතර රැස්වීමක් තියලා කිව්වා තරුණයො රට යන එකට විරුද්ධයි කියලා. ඊශ්‍රායෙල් යැවීමට විරුද්ධව සජබෙත් උද්ඝෝෂණය කරනවා. ඒකෙන් වැළකෙන්නේ තරුණයන්ගේ රස්සා කිරීම. අපි නොබැඳි ජාතියක් විදිහට පලස්තීනෙට උදව් කරනවා. රැකියා සම්බන්ධව ගත්තම සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යත් ඒ රටවල් සමග ගනුදෙනු කරනවා. නමුත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ රටවල අය කටයුතු කරනවා. තරුණ තරුණියන්ට අනාගතයේ දියුණු රටක දියුණු පිරවැසියන් විදිහට ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. අපි හදන සන්ධානයේ තාත්තගෙන් පුතාට යන දේශපාලනය නෑ. හෙට තරුණයන්ට අපි හදන අලුත් සන්ධානයේ ඉස්සරහට යන්න පුළුවන්. ඕන තරුණයකුට එහි ඉදිරියට යන්න පුළුවන්. ඒ සන්ධානයෙන් තමයි ඉදිරි මැතිවරණවලට අපි තරඟ කරන්නේ.” යනුවෙනි.