අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම්වරියක් අද දිවයිනට

සාගර සහ අන්තර්ජාතික පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජෝන් මහත්මිය අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඇය තවත් ඉන්දියාවේ සහ මාලදිවයිනේ සංචාරය කිරීමට නියමිත බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම සංචාරයේදී ඇය සොබාදහම සහ සමුද්‍ර සංරක්ෂණය, ප්ලාස්ටික් සහ වායු දූෂණය, දේශගුණික අර්බුදය, වන විනාශය, ස්වාභාවික අපරාධ, සිවිල් සහ වාණිජ අභ්‍යවකාශ ක්‍රියාකාරකම්, විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු සහ ගණිත අංශය වෙනුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමුන් ප්‍රවර්ධනය කිරීම සහ තිරසර ආර්ථිකය යන ,මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

එසේම අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය අද සිට එළැඹෙන 21වනදා දක්වා මෙරට රාජ්‍ය නිලධාරීන් සහ හවුල්කරුවන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වනවා.

එමෙන්ම එක්සත් ජනපදයේ සහාය ලබන වනජීවී ආරක්ෂණ ව්‍යාපෘති නැරඹීම, හයිඩ්‍රොග්‍රැෆි සහ දේශගුණික විපර්යාස වැනි ප්‍රමුඛතා ක්ෂේත්‍රවල එක්සත් ජනපද විශේෂඥයන් සමග ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කිරීමේ අවස්ථා ගවේෂණය කිරීමටත් ඇය එක්වනු ඇති බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.