නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි

ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (19) යෙදී තිබෙනවා.

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් නිකිණි පුර පසළොස්වක පොහොය විශාල වැදගත්කමක් උසුලනවා.

එසේම පන්සල සහ ගිහියන් අතර සබඳතාව වඩාත් තහවුරු කිරීමටත් මෙම පොහොය වැදගත් වනවා.

ඒ අනුව අද උදෑසන සිටම සැදැහැවතුන් බොහෝ පිරිසක් වෙහෙර විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත් වල නිරත වන ආකාරයක් දක්නට ලැබෙනවා.

මේ අතර මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝළි පෙරහර අද රාත්‍රියේ වීථී සංචාරය කිරීමට නියමිතයි.

කුඹල් පෙරහර යනුවෙන් හඳුන්වන්නේ අසම්පූර්ණ පෙරහරක්.

කුඹල් පෙරහරවල්වල අසම්පූර්ණකමක් , වර්ණ භාවිතය අඩු බවක් සහ සුදු පාට වැඩිපුර යොදාගෙන තිබීම අපිට දැකගත හැකියි.

නමුත් රන්දෝලි පෙරහර විචිත්‍රවත් සහ නෙක වර්ණ ශබ්ද ආදියෙන් අලංකෘත වනවා.

ඉතා විචිත්‍ර පෙරහර 5 ක් ලෙස රන්දෝලි පෙරහර පවත්වනවා.

එයිනුත් හතර වැනි හා පස්වැනි හෙවත් අවසන් රන්දෝලිය යන පෙරහර දෙකේ මඟුලැතුට පාවඩ හා උඩු වියන් ඔසවා දළදා වහන්සේට පුද කරන සියලු පූජාවන් සම්පූර්ණ කරනවා.

දළදා වහන්සේ උඩ මාලයේ ශ්‍රී සුගන්ධ කුටියෙන් පිටතට වඩමවන්නේ දැඩි ආරක්ෂක හේතුවක් මත අතිශය රහසේ හෝ දළදා ප්‍රදර්ශනයකදී පමණයි.