තැපැල් ඡන්ද අයදුම්පත් ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැදවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ මැතිවරණ කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියේ තම ලියාපදිංචියට අදාළ තොරතුරුවලට අනුව තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා මගින් අද (05) දිනට ප්‍රථම ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත යොමු කරන ලෙසටයි.

කෙසේවෙතත් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වුණත් ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ඒ අනුව තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන අතර, කිසිදු හේතුවක් මත එය කල් නොදැමෙන බවත් මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

https://elections.gov.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට තොරතුරු ලබා ගත හැකියි.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයට අදාළව මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

පසුගිය සෙනසුරාදා සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් ද කැඳවා මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා.