ඉතියෝපියාවේ 200කට අධික පිරිසක් පොළොව යට සඟවමින් ඇතිවූ නායයාම

අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ සිදුවුණු නායයෑම් දෙකකින් පුද්ගලයින් දෙසිය තිස් දෙදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

එම නායයෑම් වලට හේතුව නොකඩවා ඇද හැලුණු මහ වර්ෂාවයි.

මියගිය පිරිස අතර, කාන්තාවන් 84 දෙනෙකු සිටින බව හා නායයෑම් දෙකම සිදුවූයේ එකම ස්ථානයේ බව පැවසෙනවා.

පළමු නායයෑමෙන් ගම්මානයේ නිවාස රැසක් මඩ සහ පස් තට්ටු අතරේ සැඟවී යද්දී නිවාස තුළ සිටි පිරිස් ද පණ පිටින් වැළලුනා.

එම පිරිස් මුදා ගැනීමට කඩිනමින් මෙහෙයුම් ආරම්භ කර තිබුණද එම මෙහෙයුම් අතරතුරදී දෙවැනි නායයෑමත් ඇතිවුණා.

දිවි ගලවා ගැනීමට පැමිණි බොහෝ දෙනෙක් එම දෙවැනි නායයෑමට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බව සඳහන් වනවා.

පස් සහ මඩ තට්ටු අතරේ සිරවුණු පස් දෙනෙකු ඊයේ (23) බේරා ගැනීමට හැකිවුවත්, සෙසු පිරිස බේරා ගැනීම ගැටලුවක් වී ඇතැයි ඉතියෝපියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.