කොළඹට ජාත්‍යන්තර සිනමා උළෙලක්

ජාත්‍යන්තර සිනමා උළෙල මෙම වර්ෂයේ ජුලි මස 08 දින සිට 14 දින දක්වා කොළඹ දී පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ලාංකීය සිනමා කර්මාන්තයේ පිබිදීමක් ඇති කරලමින් ගෝලීය සිනමාකරණය මෙරට ප්‍රචලිත කරලීම මෙන්ම ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම ජාත්‍යන්තර සිනමා උළෙල පැවැත්වීමට නියමිතයි.

මෙම සිනමා උළෙල මඟින් ඉරානය, ප්‍රංශය, ඉන්දියාව, දකුණු කොරියාව, චීනය, ජපානය හා ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක දේශීය හා විදේශීය සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට නැරඹීමට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසෙනවා.

එමෙන්ම ඒ හරහා සිනමා විද්‍යාර්ථීන්ට ගෝලීය සිනමාකරණය පිළිබඳ පුළුල් අවබෝධයක් හා අත්දැකීම් ලබා ගැනීමේ මහඟු අවස්ථාවක් උදාවනු ඇති.

මෙම චිත්‍රපට උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා විසින් මෙම ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.