විජයදාසට එරෙහි වාරණ නියෝගය යළි දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට පනවා තිබෙන වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළා.

ඒ අද (03) එම පැමිණිල්ල කොළඹ දිසාව විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුවයි.

එහිදී දිසා විනිසුරුවරයා ප්‍රකාශ කළේ, මෙම පැමිණිල්ලේ විභාගය කොළඹ අතිරේක දිසාව විනිසුරු චමරි වීරසුරිය මහත්මිය හමුවට යොමු කරන බවයි.

ඉන් අනතුරුව නඩුව එම විනිසුරුවරිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව විරෝධතා ගොනුකිරීමට කල් ලබාදුන් විනිසුරුවරිය නඩුව නැවතත් එළඹෙන 14 වැනිදා කැඳවන ලෙස නියෝග කරනු ලැබුවා.

එමෙන්ම දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය එළඹෙන 14 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙසත් නියෝග කර තිබෙනවා.