සල්මන්ගේ නිවසට වෙඩි තැබූ සැකකරුවෙක් දිවි නසාගනී

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට ආයුධ සැපයූ බවට අත්අඩංගුවට ගෙන සිටි දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවේ සිටියදී සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් 26වනදා පන්ජාබ් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 22 හැවිරිදි අනූජ් තාපන් නමැති පුද්ගලයා බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

අදාළ සැකකරු පොලිස් ස්ථානයේ වැසිකිළියක් තුළ මෙලෙස සියදිවි නසාගෙන තිබෙනවා.

අනූජ් තාපන් නමැති මෙම තරුණයා සියදිවි නසාගැනීමට පෙළඹුණේ කුමන හේතුවක් නිසාදැයි විමර්ශනය කරන බව ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කළා.

එමෙන්ම සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ බව කියන විකී ගුප්තා සහ සාගර් පාල් යන සැකකරුවන් දෙදෙනාද පොලිස් අත්අඩංගුවේ පසුවනවා

බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය ඉන්දියාවේ කුප්‍රකට මැර කල්ලියක් වන ලෝරන්ස්ගේ බිෂ්නොයිගේ මැර කල්ලිය විසින් සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.