රස්තියාදුකාරයින් කීවාට මෛත්‍රී මිලියන 1000ක වන්දියක් ඉල්ලයි

මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව අදාළ අපහාස ප්‍රකාශය ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා උපුටා දක්වා තිබුණේ ” නිකන්ම රස්තියාදු කණ්ඩායමකුත් එකතු කරගෙන තමයි ඊයේ රැස්වීමක් පවත්වලා තියෙන්නේ, ඒක සම්පූර්ණ අනීතිකයි. ඒ වගේම අධිකරණයට අපහස කිරීම, එතනට මෛත්‍රීපාල සිරිසේන මහත්තයට සම්බන්ධ වෙන්න කිසිම හැකියාවක් නෑ. වැඩ බලන ලේකම්වරයා දුෂ්මන්ත මිත්‍රපාල අධිකරණට අපහාසයක් කරලා තියනවා. අපි ඉදිරියේදී මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාවලියකට යොමු වෙනවා. ඒ වගේම ඊයේ තිබුණු අනීතික රැස්වීමේ සම්පූර්ණ මැදිහත්වීම කරලා තියෙන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පත්කරලා තියෙන ඒ ආරක්ෂක කණ්ඩායම. කණ්ඩායමකට එන්න දීල නෑ, තර්ජනය කරලා තියෙනවා. පක්ෂයේ හිටපු සභාපතිවරයා මේ පක්ෂය දැන් වෙන්දේසි කරනවා. දැන් පසු ගිය දවස් වල එතුමා මුන ගැසුණා ලංකාවේ ඉන්න ප්‍රබලම ව්‍යාපාරිකයෙක් ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලනවා කියල ප්‍රකාශයට පත් වෙච්ච, ඒ වෙලාවේ මෙතුමාගේ ඉල්ලීම මොකද්ද? මිලියන සීයක් එතුමාට තරග කරන්න මේකට දෙන්න කියලා, අපි ඒක විමසුවා පක්ෂයේ හිටපු සභාපතිවරයා හමුවුණු වෙලාවක මෙහෙම හමුවීමක් සිදු උනාද කියලා, ඔහු එය පිලිගත්තා. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් එහෙම කට අරගෙන කිවුවේ ආණ්ඩුවේ අය ඉන්න නිසාය කියලනේ අපිට චෝදනා කලේ. දැන් එතුමා රෙදි ඇඳගෙනද දන්නේ නෑ මහාචාර්යකමේ ඉඳගෙන කතා කරන්නේ. දැන් ඇමතිවරයෙක් නෙමෙයිද පත් කරලා තියන්නේ. එතකොට මහාචාර්යතුමාට කියක් හමු වෙලාද මේ කටයුත්ත යෝජනා කරන්න. මේක ස්ථිරකල එක්කෙනාට කොච්චර හම්බුනාද? නඩු හාරසිය ගාණක් තියෙන පුද්ගලයෙකුගේ ළඟ අධිකරණ ඇමතිවරයා වාඩි වීමම රටේ ජනතාවට ප්‍රශ්නයක් , අපෙන්ම අහනවා” යන්නයි.

වන්දි මුදල ලෙස රුපියල් මිලියන 1000ක මුදලක් දින 14ක් තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ගෙවන ලෙසට එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණා.