අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවත්, මේ වන විට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායම විසින් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
2020 දී එක්සත් ජාතික පක්ෂයේ අයිතිය ප්‍රකාශ කරමින්, සිරිකොත අල්ලා ගැනීමට සූදානම්ව සිටි සමගි ජන බලවේගය අද පොහොට්ටුවේ සභාපති ඇතුළු පිරිසට යටවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා මහනුවර ජනාධිපති මන්දිරයේදී අද (07) පැවති දේශපාලන පක්ෂ නියෝජිත හමුව අමතමින් පෙන්වා දුන්නා.
2022 ජූලි මාසයේ සිදුවූ දේශපාලන පෙරළිය සමග මෙරට පක්ෂ ක්රමයද වෙනසකට ලක්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ද අද සියලුදෙනා රට පිළිබඳ සිතා රජයේ වැඩපිළිවෙළ සමඟ සහයෝගයෙන් ඉදිරියට යා යුතු බවද කියා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
“ආර්ථික අර්බුදය හමුවේ 2022 ජූලි මාසයේ සිදුවූ දේශපාලන පෙරළිය සමඟ මෙරට පක්ෂ ක්රමයද වෙනසකට ලක් වුණා. අද සියලුදෙනාගේ සහයෝගයෙන් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට අපට හැකිව තිබෙනවා. මෙම තත්ත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාම අප සියලුදෙනාගේ වගකීමක්.
පසුගිය වසර දෙක තුළ අප පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබෙන නීති ඇතැම් අය සිය පාර්ලිමේන්තු කාලය තුළම සිදු කර නැහැ. රටේ ආර්ථික ගැටළු තිබුණද අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ආරම්භ කර, එතෙක් පැවති දීමනාව තුන් ගුණයකින් ඉහළ නැංවීමට අප කටයුතු කළා. ඒ වගේම ලක්ෂ 20කට උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ රටේ ආර්ථිකය යහපත්ව තිබූ කාල සීමාවේ ඉටු නොකළ වැඩකොටසක් බව කිවයුතුයි.
මෙම වැඩසටහන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් මට සහාය ලබා දී තිබෙනවා. පෙදුජන පෙරමුණේ, එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද කොටසක් මේ අතර සිටිනවා. ඒ වගේම වෙනත් පක්ෂවල අය ද සිටිනවා. මේ සියලුදෙනා එකට එක්ව සම්බන්ධීකරණයක් ඇති කර ගනිමින් ඉදිරියට යා යුතුයි.
පොදුජන පෙරමුණේ සිටියත් එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියත් වෙනත් පක්ෂයක සිටියත් රජයේ මෙම වැඩපිළිවෙළ සමග ඉදිරියට යනවාද නැද්ද යන තීරණය ගැනීමට පමණයි තිබෙන්නේ.
පසුගිය කාලයේ දේශපාලන පක්ෂ තුළ බෙදිමක් ඇති වුණා. පොහොට්ටුවේ සභාපති සහ සුළුතරයක් විපක්ෂයට ගියා. දැන් එම කණ්ඩායම සමගි ජනබලවේගය අල්ලාගෙන සිටිනවා. 2020 සමගි ජන බලවේගය ප්‍රකාශ කළේ අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ ඒ නිසා සිරිකොත අල්ලාගන්න ඕන කියලා. එසේ පැවසු සමගි ජන බලවේගය අද පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායමට යට වී සිටිනවා.
අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂය නැහැ. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කළේ මමයි. ජේ.ආර්. ජයවර්ධන, ආර්, ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග මේ සියලුදෙනා සමඟ අපි වැඩකළා.
අද සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂය කියන්න කිසිම අයිතියක් නැහැ. අද අපට පොදුජන පෙරමුණ සමඟ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද වැඩ කිරීමට සිදුව තිබෙනවා. රට වෙනුවෙන් අපි එකට සිටිය යුතුයි. අද දේශපාලනය වෙනස් වෙලා.
ඔබ සියලුදෙනා ගමට යා යුතුයි. උරුමය සින්නක්කර ඔප්පු ලක්ෂ 20න්, ලක්ෂ 10ක් මේ වන විට සකස් කර අවසන් කර තිබෙනවා. එම ඔප්පු මාසයක් තුළ ජනතාවට බෙදා දීමට අපිට එක්ව වැඩ කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා මේ මහනුවර දිස්ත්‍රික්කයේ ඔබ සියලුදෙනා මනා සම්බන්ධීකරණයකින් යුතුව රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා. “
අමාත්‍ය මනූෂ නානායක්කාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියා..