කාන්තාවන් වෙනුවෙන් පනත් දෙකක්

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත ඊයේ (07) දිනයේදී ගැසට් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත එළැඹෙන සතියේ දී ගැසට් කරන බවයි අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පුර්ණ කතාව

“ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ දී අපේ රටේ සිදු වන්නේ උත්සවයක් පවත්වා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කථා කර නැවත නිවසට යාමයි. වාර්ෂිකව එය සිදු වෙනවා. නමුත් මෙවර එහි වෙනසක් සිදුව තිබෙනවා. මෙම කාන්තා හඬ නැඟීම ක්‍රියාත්මක කිරිමට අප තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ මම පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය මුණ ගැසුණු අවස්ථාවේ කාන්තාවන් වෙනුවෙන් අවශ්‍ය පනත් සකස් කර දෙන ලෙස දන්වා සිටියා. ඒ අතරින් වැදගත්කම පනත් දෙකක් දැන් සකස් කර තිබෙනවා. ඉන් එකක් නම් කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතයි. ඒ සඳහා වෙනම කොමිෂන් සභාවක් පත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණයි. ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී එය විෂයභාර අමාත්‍යවරයා විසින් මෙම කොමිසමට භාර දීම සිදු වෙනවා.

මෙම කෙටුම්පත ඊයේ අප ගැසට් මඟින් නිවේදනය කළා. ඒ වගේම එළැඹෙන සතියේ තවත් කෙටුම්පතක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනවා. ඒ තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත.
මේ මඟින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන අතර සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සහ තාක්ෂණික ප්‍රතිපත්ති සකස් කිරිමේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ මූලධර්ම ස්ථාපිත කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සිදු වෙනවා.

ඒ වගේම විෂයභාර අමාත්‍යවරයාගේ බලතල සමඟ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ සභාවක් පිහිටුවීමට ද කටයුතු කෙරෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳ කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර, එම ආයතනය මඟින් අමාත්‍යාංශ මට්ටමින් ඉදිරිපත් වන ප්‍රශ්න විසදා ගැනීමට ද හැකියාව ලැබෙනවා.

මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කළ විට කාන්තාවන් වෙනුවෙන් ශක්තිමත් ආයතන දෙකක් ඇති වෙනවා. දැන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කතාවට පමණක් සීමා කළ යුතු නැහැ. ඒ සඳහා අවශ්‍ය නීති ගෙන ආ යුතුයි. වසර ගණනාවක් අප එය සිදු කළේ නැහැ. අද අපි එම වැඩකටයුතු කරගෙන යනවා.

මේ පිළිබඳ අනෙක් කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තවත් සංශෝධන අවශ්‍ය නම් දැනුම් දීමට මම පාර්ලිමේන්තවේ කාන්තා සංසදයට භාර දෙනවා. අප්‍රේල් අවුරුදු සමයෙන් පසුව අපට එම සංශෝධන දැනුම් දිය යුතුයි. පසුව මැයි මාසයේදී මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙතනින් මෙම කටයුතු අවසන් වන්නේ නැහැ. අප හඳුන්වාදුන් මෙම පනත් දෙක අපේ කලාපය තුළ හඳුන්වාදී තිබෙන්නේ පළමු වරටයි. දකුණු ආසියාවේ වෙනත් රටක මෙවන් පනත් ක්‍රියාත්මක වනු ඇතැයි මම සිතන්නේ නැහැ.
ඉන් පසුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගන්නා අයවැයකරණය ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දැනටමත් එය සකස් කර තිබෙන අතර භාණ්ඩාගාර ලේකම්වරයා සමඟ සාකච්ඡා කර එම කෙටුම්පතත් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙය ආසියාව තුළ සිදුවන්නේ පළමු වරටයි.මෙය දැනට සිදු කර ඇත්තේ කැනඩාව ඇතුළු රටවල් දෙක තුනක පමණයි.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ මම විපක්ෂනායකවරයාව සිටියදී වාර්තාවක් සකස් කළා. අප 2018 වසරේදී මෙය ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබුණද එය කිරීමට නොහැකි වුණා. ඉන්පසුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සමග එම කටයුතු ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය කැඳවා මේ පිළිබඳවත් සාකච්ඡා කර තවත් සංශෝධන අවශ්‍ය නම් ඒ සමඟ මෙම නීතිය ගෙන ඒමටත් අප පියවර ගන්නවා. මේ තමයි අප කාන්තාවන් වෙනුවෙන් ගෙන ඇති මුලික පියවර.මීට අමතරව තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශය ඉදිරිපත් කිරිමට අද කටයුතු කර තිබෙනවා.”