ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යන මහත්වරුන්, ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා පනතට අනුව කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.
ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී, වීරක්කොඩි මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කළේ, පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ විකෘති කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සති අන්ත පුවත්පතට යවා ඇති ලිපියක් සම්බන්ධයෙන් කරුණු දක්වමින්.
එහි දී මන්ත්‍රිවරයා මෙසේ ද පැවසුවා.
ආචාර් ධර්ම හා වරප්‍රසාද කාරක සභාවේ නිර්දේශයක් අනුව ආරක්ෂක ලේකම්වරයාත් යුද හමුදාපතිවරයාත් මට කනගාටුව පළ කළ බවට වන වාර්තාවක් ‘සතිඅග අරුණ ’ පුවත්පත වාර්තා කර තිබුණා.
ඊට අදාළව කාරක සභාවේ තීරණ විකෘති කරමින් ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයේ අධ්යක්ෂ යැයි කියන කර්නල් හේරත් යන අයෙක් එම පුවත්පතට කරුණු පැහැදිලි කිරීමේ ලිපියක් එවා තිබුණ බව පුවත්පත වාර්තා කර තිබෙනවා.
එම ලිපියෙන් කාරක සභාවේ කටයුතු හෑල්ලු කර තිබෙන අතර එමගින් පාර්ලිමේන්තුවේ මෙන් ම මගේද වරප්‍රසාද උල්ලංඝනය වී තිබෙනවා.
එම කරුණු පැහැදිලි කිරීමේ ලිපියේ ‘රැස්වීම අවසානයේ දී මෙවැනි රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා ඔවුන් අපහසුතාවට පත් කිරීම සබැඳිව වරප්‍රසාද කමිටු සාමාජික චමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඔවුන් වෙත සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.
පසුව පැමිණිල්ල විභාග කිරීම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න හා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ පසුගිය දා පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවට කැඳවූ අතර ඉහත කරුණු සම්බන්ධයෙන් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා, පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව වෙත එම සිදුවීම පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කිරීමත් සමග ගැටලුව සුහදව සමථයකට පත් විය.’ යනුවෙන් සඳහන් කර තිබෙනවා.
චමල් රාජපක්ෂ මහත්තයා කාරක සභාවේ සාමාජිකයෙක් නෙමෙයි, එතුමා කාරක සභාවේ සභාපතිවරයා. ඒ වගේ ම එම ලිපියේ සඳහන් වන්නේ, ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව වෙත සිය කනගාටුව ප්‍රකාශ කිරීමත් සමග කියලා.
නමුත් කාරක සභා වාර්තාවේ සඳහන් වන්නේ ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා මන්ත්‍රිවරයාගෙන් සමාව අයැ ද සිටිය යුතුයි කියලයි.
පාර්ලිමේන්තුව සමච්චලයට ලක් කරමින් මේ ආකාරයට හැසිරීම සම්බන්ධයෙන් මම කථානායකතුමාගේ අවධානය යොමු කරනවා.
මෙම පුද්ගලයන් දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවා පනත යටතේ කටයුතු කරන ලෙස මම ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තුව අද විශාල වශයෙන් විහිළුවට ලක් වෙලා. මෙවැනි කටයුතු නිසා තවදුරටත් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් විය හැකියි.
මේ සම්බන්ධයෙන් වරප්‍රසාද පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙන්.
අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එය සුදුසු කටයුතු සඳහා යොමු කරන බවට දැනුම් දුන්නා.