ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සුවිශේෂි ගිවිසුමක් අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලයේ ටෙල් අවිව් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහාවන ගිවිසුමට අද අත්සන් තැබු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි .

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඊශ්‍රායල ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය වන මිරි රෙජිව් දෙරට වෙනුවෙන් මෙම ගිවිසුම්වලට අත්සන් තැබූ බව එහි සඳහන් වේ. මෙම වසරේ මාර්තු මාසයේ සිට නියමිත කාලසටහනකට අනුව නව සේවාව ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දෙසැම්බරයේ සිට Arkia ඊශ්‍රායල ගුවන් සමාගමට අයත් වරලත් ගුවන් යානා පහක් දැනටමත් BIA වෙත ගුවන් සේවා ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රි ලංකාව වෙත ගුවන් සේවා ආරම්භ කිරීමට ඊශ්‍රායලයේ තවත් ගුවන් සමාගම් කිහිපයක් ද කැමැත්ත පළ කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

මේවන විට ඊශ්‍රායලයේ විවිධ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසි දහසකට ආසන්න සංඛ්‍යාවක් සිටිනා අතර මෙම සෘජු ගුවන් ගමන් සේවාව ලාබදායි කාර්‍යක්සම සේවාවක් සඳහා උපකාරීවනු ඇත .