ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන මසදී

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එළැඹෙන සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

ඒ සඳහා නාමයෝජනා කැඳවීම පසුගිය අගෝස්තු මස 14දා පස්වරුවේ සිට ක්‍රියාත්මක කල අතර, නාමයෝජනා භාර ගැනීම මෙම මස 19 වැනිදා දක්වා පැවැත්විණි.

නිලවරණය පැවැත්වීම උදෙසා නිලවරණ කමිටුවක් පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශේෂ මහා සභා රැස්වීමක් කොළඹදී පැවැත්විණි. සාමාජිකයන් තිදෙනකුගෙන් මෙම නිලවරණ කමිටුව සදහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යූ.එල්. ෆිපීඩ්, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ විශ්‍රාමික ජෙනරාල් උපාලි ගුණසේකර යන අය ඇතුළත්ය.

මෙවර පාපන්දු නිලවරණය සඳහා නාමයෝජනා පිළිබඳ අභියාචනා භාර ගැනීම සැප්තැම්බර් මස 1 වැනිදා සිට 3 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව ඇති අතර, අභියාචනා සළකා බැලීම සැප්තැම්බර් 4 වැනිදා සිදු කිරීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නව සභාපතිවරයා ඇතුළු විධායක කමිටුවට නිලධාරීන් 13 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා වන අවසන් නාම යෝජනා ලැයිස්තුව සැප්තැම්බර් මස 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එසේම මෙම නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ද විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර ඇති බවද සදහන්ය. එම මාර්ගෝපදේශ මාලාවට අනුකූලව ලංකා පාපන්දු සම්මේලනය වෙත පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සඳහා නිලවරණය පැවැත්විය යුතුව ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ලබා දී ඇති මාර්ගෝපදේශ මාලාවට අනුකූලව බව ද දැක්වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *