මිලියන 75 ක් වටිනා කොකේන් ගුවන් තොටින් අල්ලයි

කටුනායක ගුවන් බඩු ගම්මානයේ ෆිට්ස් එයාර් කූරියර් සේවය හරහා නිදහස් කරන ලද පාර්සලයක තිබී කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 139 ක් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ශ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවා.

ඒ රේගු නිවාරන අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් විසින් මෙම මත්ද්‍රව්‍ය පාර්සලය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කොලොම්බියාවේ බොගොටා නගරයේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබූ මෙම පාර්සලයේ අඩංගුව තිබූ විදුලි උපකරණයක සූක්ශමව සඟවා තිබී මෙම මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් සැක පිට මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හා 24 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු හා භාණ්ඩ නිශ්කාශන නියෝජිතයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75 කට තක්සේරු කර තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිත බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ශ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!