ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පැවැත්වෙන 2026 ජාත්‍යන්තර වෙසක් සැමරුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ රජය දැනුවත් කිරීම සඳහා බෞද්ධ දූත කණ්ඩායමක් අද (28) ශ්‍රී ලංකාවට පැමිණියහ.
එම බෞද්ධ දූත කණ්ඩායම කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඊයේ පැමිණි අතර අත්තනගල්ල, අරහන්ත රජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝන රන්වල සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහත්වරු ඇතුළු පිරිසක් විසින් පිළිගත් අතර මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝයා වහන්සේලා පිරිසක් මෙරටට වැඩම කළහ.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පෙන්වා දුන්නේ මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ දූත පිරිසක් ශ්‍රී ලංකාවට වැඩම කළ බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ 2026 වසරේ දී ජාත්‍යන්තර වෙසක් සැමරුම ප්‍රකාශයට පත්කර තිබෙන බවත් ය. දිඟුකලක් පුරා එම ප්‍රාන්තයේ සිදුකළ ධර්ම ප්‍රචාරක කටයුතු ප්‍රතිඵලයක් ලෙස එම අවස්ථාව හිමිව තිබෙන බවද දින 7 ක කාලයක් ඊට අයත් බවද සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ටෙක්සාස් ප්‍රාන්තය එක්ව අපේ රටේ පවතින බෞද්ධ සිරිත්, විරිත්, බෞද්ධ ආකල්ප ජාත්‍යන්තරය විසින් ඉල්ලා සිටින අවස්ථාවක් ලෙස දකින බව පෙන්වාදුන් ඒ මහතා කොළඹ සහ ටෙක්සාස් ප්‍රාන්තය එක්වීම සඳහා මෙය හොඳ අවස්ථාවක් බවද මන්ත්‍රීවරයා පැවසීය.
සියවසකට ආසන්න කාලයක්, මෙම රටට පැමිණි ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන බෞද්ධ භික්ෂූන්ගේ නොපසුබට උත්සාහය හේතුවෙන්, ඇමෙරිකානු ජනතාව සහ විවිධ රටවලින් පැමිණෙන ජනතාව සමඟ බුදුන්ගේ අකාලික ඉගැන්වීම් සහ බෞද්ධ භාවනා පිළිවෙත් සාර්ථකව බෙදාගෙන තිබෙන අතර මෙම උතුම් උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස, 2025 මැයි 15 වන දින, ටෙක්සාස්හි ඔස්ටින්හි වෙසක් දිනය නිල වශයෙන් අමෙරිකා ටෙක්සාස් ප්‍රාන්තය විසින් පිළිගෙන ඇත.
පසුගිය වසර දෙක තුළ, ටෙක්සාස් විහාරය ලොවපුරා සිටින භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ත්‍රිපිටක සජ්ඣායනා පිංකමක් පවත්වා ඇති අතර 2025 දී, භික්ෂූන් වහන්සේලා 200 දෙනෙකු සහභාගී වූ දින දහයක පිංකම් මාලව සාර්ථකව පවත්වා ඇත. එය ඇමරිකානුවන් සහ අනෙකුත් අය අතර සැලකිය යුතු ආධ්‍යාත්මික පිබිදීමක් ඇතිකර තිබේ.
ටෙක්සාස්හි පවත්වන රාජ්‍ය වෙසක් උත්සවය 2026 මැයි 2-10 දිනවල, භික්ෂූන් වහන්සේලා 200 කට වැඩි පිරිසක් සහ ආරාධිත රාජ්‍ය සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඊට සමගාමීව, බුදුන් වහන්සේගේ භෞතික පැමිණීම සංකේතවත් කරමින් උන්වහන්සේගේ පූජනීය ධාතු ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කෙරේ. කිරිගරුඬ ගල් ස්තූප 840 ක් තුළ භාෂා 10 කින් ත්‍රිපිටක කැටයම් කිරීම සඳහා ඩොලර් මිලියන 200 ක චෛත්‍යයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇත.