මහනුවරට පැය 65 ක ජල කප්පාදුවක්

නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

මේ හේතුවෙන් මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට දින දෙකක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.

වසර දෙකකට වරක් සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් වෙනුවෙන් පොල්ගොල්ල ජලාශයේ ජලය අනිද්දා මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට සැලසුම්කර තිබෙනවා.

මහවැලි අධිකාරිය සඳහන් කළේ, වියළි කාලගුණික තත්ත්වයක් පැවතීමත් රජරට කෘෂිකාර්මික කටයුතු මෙම දිනවල අවසන්ව තිබීමත් හේතුවෙන් ජලාශයේ නඩත්තු කටයුතු මෙම දිනවලදී සිදුකිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ජලාශයේ රැස්ව තිබෙන ජලය වික්ටෝරියා ජලාශයට මුදා හැරීමට නියමිතයි.

ජලාශය හිස්වීමත් සමඟ ක්‍රීඩා කිරීමට හෝ මසුන් ඇල්ලීමට මහවැලි ගඟට බැසීම අවදානම් බැවින් එලෙස ක්‍රියාකිරීමෙන් වළකින ලෙස මහවැලි අධිකාරිය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක්ද් කරනව.

පොල්ගොල්ල ජලාශය හිස් කිරීමත් සමඟ විසල් මහනුවර හා පොල්ගොල්ල ජල පවිත්‍රාගාරවලට 28 වැනිදා සහ 29 වැනිදා යන දෙදින තුළ ජලය ලබා ගැනීමේ හැකියාවක් නොපවතින බැවින් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

ඒ අනුව සෙනසුරාදා අලුයම 1 සිට සැප්තැම්බර් 30 වන දා පස්වරු 6 දක්වා පැය 65ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බවයි එම මණ්ඩලය දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් මහනුවර නගර සභා බලප්‍රදේශයට, පූජාපිටිය, පාතදුම්බර සහ අකුරණ ජල සම්පාදන ක්‍රමවලට අයත් ප්‍රදේශවලට, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජවැල්ල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්තාන සහ වලල යන ප්‍රදේශ හා විසල් මහනුවර ජල පවිත්‍රාගාරයේ ජලය බෙදාහරින මාවතගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.