විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවෝ සජිත්ව ප්‍රතික්ෂේප කරලා – 267 කට ඇරයුම් කළාට ආවේ 30

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන අතර ඊයේ (22) පැවති සාකච්ඡාවට ආරාධනා ලැබූ කණ්ඩායමෙන් බහුතරක් නොපැමිණ එය වර්ජනය කිරීම නිසා විපක්ෂ නායකවරයා අපහසුතාවයට ලක්ව ඇතැයි අනාවරණය වනවා.

ඊයේ පස්වරු 7 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, නවරෝහල පාරේ පිහිටි මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වීමට තිබූ මෙම සාකච්චාවට විපක්ෂ නායක කාර්යාලය මගින් සියළුම ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ඇරයුම් කර තිබෙනවා.

ලියා පදිංචි විදේශරැකියා නියෝජිත ආයතන 267 කට ආරාධනා කර තිබුනද සාකච්චාව සඳහා පැමිණ තිබුනේ 30 කටත් අඩු පිරිසකි.

අවසන් මොහොතේ හෝ සාමාජිකයින් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිට සජිත් ප්‍රේමදාස එම අවස්ථාවට පැමිණ ඇත්තේ රාත්‍රී 10.30 ට පමණයි.

මෙම සාකච්ඡාවට විදේශ රැකියා නියොජිත ආයතන කැඳවීමේ වගකීම බාරගෙන තිබුනේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සහ හෙක්ටර් අප්පුහාමි විසිනුයි. එය ව අසාර්ථක වීම නිසා කෝපයට පත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අලවතුවල මන්ත්‍රීවරයාට සහ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාට බරපතල ලෙස දෝෂාරෝපණය කර ඇතිබව වාර්තා වනවා..

විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් සජිත් ප්‍රේමදාසගේ හමුව වර්ජනය කර කම්කරු සහ විදේශ රැකියා පිළිබද ජනාධිපති උපදේශක මනුෂ නානායක්කාර මහතා සහභාගීවූ සාකච්ඡාවකට සහභාගී වී තිබෙනවා.බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ සංසදය විසින් සංවිධානය කර තිබූ එම හමුවට විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් 160 කට වඩා සහභාගී වී ඇති බව වාර්තා වනවා.

මීට දින හතරකට පෙර ඉකුත් 18 වනදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් කැඳවමින් කොළඹ සම්මේලන සහ ප්‍රදර්ශණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව ද අවලංගු කරන්නට යෙදුනා.. එම හමුව සඳහා 2000 කට ඇරයුම් කර තිබුණ ද ඊට පමිණ සිටියේ 18 දෙනෙකු පමණයි.