ඊශ්‍රායලයේ රැකියාවට ගිය සාත්තු සේවිකාවක් පිටුවහල් කරයි

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියාවක් සදහා පිටත්ව ගිය සාත්තු සේවිකාවක් පිටුවහල් කර තිබේ.

මීට වසරකට පමණ පෙරදී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියාව සදහා මෙම කාන්තාව පිටත්ව ගොස් ඇති අතර තම සේවා ස්ථානයෙන් නීත්‍යානුකූල නොවන ලෙසට ඉවත්ව ඇත. නැවත පැමිණි ඇය තමන් බලාගත් කාන්තාවගේ දුරකතනය බලහත්කාරයෙන් රැගෙන, නැවත තමන්ට රැකියාව ලබාදෙන සෙට ඇයගේ පුතාට බලපෑම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පීබා ආයතනය කළ පරීක්ෂණවලින් පසුව ඇය සේවා කොන්දේසි කඩ කර ඇති බව අනාවරණය කරගෙන ඇති අතර ඒ අනුව එම කාන්තාව ලංකාවට පිටුවහල් කර තිබෙන බව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි.

මෙම කාන්තාවට තමන් සේවය කළ කාලයේදී මාසයකට රුපියල් ලක්ෂ හයක පමණ මුදලක් ගෙවා ඇත. මේ අතරවාරයේදී ඇය සමග මිතුරු වූ තවත් කාන්තාවක් එළියේ වැඩ කිරීමෙන් ලක්ෂ 15ක් පමණ මාසයකට උපයා ගත හැකි බව පවසා ඇත. එසේ විශාල මුදලක් ලබාගැනීමට නොහැකි බව නිවෙස් හිමි වැඩිහිටි කාන්තාව පවසද්දීත් එය නොතකා සාත්තු සේවිකාව නිවසින් පිටත්ව ගොස් ඇත.

එම නිවසින් පිටත්ව යාමෙන් පසුව කලින් ඉපයූ මුදලවත් ඇයට උපයාගත නොහැකිවී ඇති අතර නැවත කලින් සේවය කළ නිවසට පැමිණ තමන් සේවයට බදවා ගන්නා ලෙසට බලපෑම් කර තිබේ. ඒ වන විට වෙනත් සාත්තු සේවිකාවක් බදවාගෙන ඇති අතර ඒ නිසා කලින් සිටි සාත්තු සේවිකාවගේ සේවය අනවශ්‍ය බව පවසා ඇත. මේ අවස්ථාවේදී වැඩිහිටි කාන්තාවගේ දුරකතනය බලහත්කාරයෙන් ගෙන ඇයගේ පුතාට කතා කර තමන් සේවයට බදවා ගන්නා ලෙස බලපෑම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පීබා ආයතනය පරීක්ෂණයක් පවත්වා ඇති අතර එම සාත්තු සේවිකාව ලංකාවට පිටුවහල් කිරීමට තීරණය කර ඇත්තේ ඒ අනුවය.