සරසවි පුතුගේ හිසට පහරදී තාත්තා වස බීලා

බළන්ගොඩ මස්පැන්න ප්‍රදේශයේ පදිංචි පියකු මිදුලේ පාඩම් කරමින් සිටි තම පුතුගේ හිසට පොල්ලකින් පහරදී බරපතළ තුවාල සිදුකර තමාද වස පානය කර බරපතළ තුවාල ලබා තිබේ.

මෙම සිදුවීම පෙරේදා (04 වැනිදා) සවස සිදුව ඇති අතර පොලු ප්‍රහාරයට ලක්වූ පුතු සරසවි අධ්‍යාපනය ලබන නිවාඩු ලබා නිවසට පැමිණ සිටි 23 හැවිරිදි සිසුවකු බව බළන්ගොඩ පොලිසිය පවසයි.

වස පානය කළ පියා දෙදරු පියකු වන අතර ඔහු සිය බිරිඳ සහ පුතු සමගින් පෙරේදා නිවසේ සිට ඇත.

බිරිඳ කිසියම් කටයුත්තක් සඳහා නිවසෙන් බැහැර වී තිබෙන අතරතුර පියා සහ පුතු අතර ආරවුලක් ඇතිව ඇති අතර පසුව පියා විසින් පුතුගේ හිස පිටුපසට පොල්ලකින් පහරදී තිබේ.

මේ අවස්ථාවේදී බිරිඳ ද පැමිණ ඇති අතර සැකකාර පියා විසින් බිරිඳට පිහියෙන් ඇනීමට ගත් උත්සහායක් ව්‍යාර්ථ වී ඇත්තේ ඇය දිව ගොස් බේරීම නිසාය.

ඉන් අනතුරුව සැකකරු නිවසේ කාමරයට ගොස් දොර වසාගෙන ඇති අතර පසුව ඔහු කාමරයේදීම වස පානය කර ඇත.

අසාධ්‍ය තත්ත්වයෙන් බළන්ගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති පිය පුතු දෙපළගේ තත්ත්වය බරපතළ බවත් පුතු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවත් බළන්ගොඩ පොලිසිය පවසයි.

බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දමිත් ජයකොඩිගේ උපදෙස් පරිදි වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයතිස්ස, අපරාධ අංශයේ ස්ථනාධිපති උප පොලිස් පරීක්ෂක බණ්ඩාර ඇතුළු නිලධාරීහූ වැඩිදුර විමර්ශන සිදුකරති.