කිව්ව දේවල් කරන්න බෑ – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති පිළිගනී

තෝරාගත් භාණ්ඩ සදහා වන වැට් බද්ද බිංදුවට ගෙන ඒම උපයන විට බද්ද රුපියල් ලක්ෂ දෙකක සීමාව කරා ගෙන ඒම වැනි ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියූ සියලුම දේ පළවෙනි අය වැයෙන් කළ නොහැකි බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත කීවේය.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කීවේය.

පළවෙනි අය වැයෙන් කරන්නේ නෑ කියලා කියලා නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වුන හැම දේම පළවෙනි අය වැයෙන් කරනවා කියලත් නෑ. අය වැය කියන එක අමුතු මැජික් ටූල් එකක් විදියට මාධ්‍ය, විද්වතුන් සමාජ ගත කරලා තියෙනවා.

අය වැයෙන් අරමුණක් තියෙනවා. සංවර්ධනයේ ගමන් මග ආදී කරුණු ගණනාවක් තියෙනවා. එක අය වැයකින් සියල්ල කරන්න බැරි බව තේරුම් ගන්න ඕන.

ඕනම දේශපාලන පක්ෂයක් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියන්නේ නෑ පළවෙනි අය වැයෙන් සියල්ල කරනවා කියලා. පළවෙනි අය වැය කියන්නේ යන ගමන් මාර්ගයේ එක් නිශ්චිත කාර්යභාරයක් විතරයි.

සියයට 18ක වැට් බද්ද වැඩියි. ඒක අඩු කරන්න ඕන. වැට් බදු අපි ඉදිරියේදී අයින් කරනවා. හැබැයි පළවෙනි අය වැයෙන් ඒක කරන්න බෑ. අපි මේක ක්‍රමිකව කරනවා.