දේශපාලනය යනු මැතිවරණයකදී ‘හොඳම මුහුණ කාගේද විමසා’ ඡන්දය දිය යුතු ක්‍රියාවලියක් නොවේ

දේශපාලනය යනු මැතිවරණයකදී හොඳම මුහුණ කාගේද යන්න විමසා ඡන්දය දිය යුතු ක්‍රියාවලියක් නොව තමන්ගේ අනාගතය සහ තමන්ගේ මුහුණ හොඳද යන්න විමසා බලා ගත යුතු පියවරක් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) කුරුණෑගල විගමනික ‘ශ්‍රමික හරසර’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් අවධාරණය කළේය.


“අපේ අනාගතය එක්ක සෙල්ලම් කරන්න බැහැ. දේශපාලනය කියන්නේ බොරු පොරොන්දු දෙන එක නෙමෙයි. දේශපාලනය කියන්නේ කාගෙ මූණද වඩා හොඳ කියලා ඡන්දෙ දෙන එක නෙවෙයි.

දේශපාලනය කියන්නේ තමන්ගේ මූණ කොහොමද හොඳ වෙන්නේ කියලා ඡන්දෙ දෙන එක. දේශපාලනය කියන්නේ තමන්ගේ අනාගතය කොහොමද කියල බලල ඡන්දෙ දෙන එක. මෙවැනි අලුත් ක්‍රමයකට අපි යන්න ඕන.” යැයි ජනාධිපතිවරයා සභාව අමතමින් එහිදී අවධාරණය කළේය.


විගමනික ශ්‍රමික සහ එම පවුල්වල සාමාජිකයින් ලක්ෂයක් සම්බන්ධ කරගනිමින් ව්‍යවසායකත්වය වෙනුවෙන් රුපියල් පනස්දහසේ සිට රුපියල් මිලියනය දක්වා මූල්‍යාධාර ලබා දෙන ක්‍රියාවලියක් ලෙස ‘විගමනික ශ්‍රමික හරසර’ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූලිකත්වයෙන් මූල්‍ය ප්‍රදාන ලබා දීම සිදු කෙරෙන අතර කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගනයේදී පැවැත්වුණ මෙම සමාරම්භක වැඩසටහනේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ලංකාවේ දේශපාලනය තුළ කිසිවෙකුත් ඇත්ත නොකියූ බවත් රට ණය වෙමින් ඉදිරියට ගෙන යෑම කිසිසේත්ම කළ නොහැකි බවත්ය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.


“අද මේ විශේෂ උත්සවයෙන් මේ රටට විදේශ විනිමය උපයලා ලංකාවට පැමිණි ඔබට යළි අලුත් ජීවිතයක් ආරම්භ කරන්නට ආණ්ඩුවෙන් අත දෙනවා. මේ තෑග්ගක් නෙවෙයි. පිනට දෙන එකක් නෙවෙයි. ඔබේ සේවය නිසා ඔබ ලබාගත්ත අයිතියක්. ඒකයි අපි මෙතනින් ලබලා දෙන්නේ. රට ගිහින් පිටරට වාතාවරණයෙන් ප්‍රයෝජනයක් ලබාගෙන ලංකාවට ආවම සමහරු අකමැතියි තමන්ගේ පරණ රැකියාවේම යෙදෙන්න. ඔවුන් බලනවා අපිට පුළුවන්ද මේකෙන් ඉදිරියටම යන්න කියලා.

අන්න එහෙම කැපවීමක්, ශක්තියක් තියෙන අයට අත දෙන්න තමයි මේ වැඩසටහන තියෙන්නේ. ඒකෙන් සම්පූර්ණ ප්‍රයෝජන අරගන්න. විශේෂයෙන්ම මේක ඇති කළේ තමන් රට ගිහින් රටට සේවය කරපු නිසා. දෙවෙනි කාරණය අමාරු කාලයේ රටට සල්ලි ටික එවපු නිසා. සල්ලි ටික එව්වේ නැත්නම් අපිට මොකක්ද වෙන්නේ කියලා මට කියන්න බැරි වෙනවා. මම භාරගත්තේ අමාරුම රටක්. තෙල්, ඩොලර්, පෝර නැති අනාගතයක් නැති රටක්. මේක ගෙනියන්න පළවෙනි මාස කීපය තුළ ප්‍රශ්න ගණනාවක් තිබුණා.

ඔබ මුදල් එව්වෙ නැත්නම් මම දන්නෙ නෑ මොකක්ද වෙන්නේ කියලා. ලෝක බැංකුවයි සමන්තා පවර් මැතිනියයි පොහොර දුන්නෙ නැත්නම් හරි අමාරුවක වැටෙන්නේ. ඔබේ මුදල්වලින් අමාරුවෙන් මේක ගෙනිච්චා.

කොහොම හරි ලෝක බැංකුවෙනුත් මුදල් ටිකක් ඉල්ලගත්තා. දෙවනුව පොහොර ලැබුණ නිසා නිසා 2022, 2023 යල කන්නේ වගා කරන්න කිව්වා. යල කන්නෙ හරි ගිහින් ආර්ථිකය දියුණු වෙන්න පටන් ගත්තා. එන මුදල් වැඩි වී සංචාරකයින් වැඩි වුණා.

අපි ඉදිරියට ගියා. ඒකයි සිදු වුණේ. මේ දුන්න මුදල්වල වටිනාකම කියන්න අලුතෙන් ඕන නෑ. දුන්න හැම ඩොලරයකම ඩොලර් දෙකක වටිනාකම තිබුණා. ඒකට මම සියලු දෙනාටම ස්තුති කරන්නට ඕනෑ. ඔබ ගත්ත උත්සාහය නිසා තමයි අද අපි මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නේ. අපි මේ පැතිවල වෙසක් බලන්න ගියේ, පොසොන් බලන්න ගියේ, සිංහල අවුරුදු තිබ්බෙ ඒ නිසා. ඇත්ත වශයෙන්ම පොසොන් පෝය දිනේ කුරුණෑගල පහු කරලා යන්න පැය දෙකහමාරක් ගියා කියලා සමහර අය කිව්වා. හිතන්න අමාරුයි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කවුරුත් පාරේ හිටියේ නැහැ.

ඒ තත්ත්වයට අපි ඇවිල්ල තියෙන්නේ. ඒත් අපි මෙතනින් ගොඩ එන්න ඕන. මෙතනින් ඉදිරියට යන්න ඕන. රට දියුණු කරන්න ඕන. හැමදාම එක තැන ඉන්න බෑ. එහෙම නම් කෙන්යාව, බංග්ලාදේශය වගේ අපෙත් තියෙයි කෝලාහල. ඒක 99න් බේරගත්තා. අපි ඉදිරියට යනවා නම් අපි අලුතෙන් හිතන්න ඕනේ. අපි මෙතනට ආවේ,

අපේ දේශපාලනයේ ඇවිල්ල කවුරුවත් ඇත්ත කිව්වෙ නෑ. මේ රට තිබුණ ආර්ථිකයෙන් ගෙනියන්න බැහැ. හැමදාම ණය වෙවී ගෙනියන්න බෑනේ. අපිිටත් බෑනේ හැමදාම ණය අරගෙන යන්න. අපි අවුරුදු පහළොවත් ණය අරගෙන ගියා. ඔබට පුළුවන්ද අවුරුදු පහළොවක් ණය අරගෙන ගෙදර ගෙනියන්න. බැහැනේ. අවුරුදු පහක් ගියොත් ඉවරයි. දැන් ආපහු අපි ණය ගෙවන්න පුළුවන් විදියට සහන ඉල්ලගෙන තියෙනවාා. ඒත් මතක තියාගන්න මේ ණය ගෙව්වයින් පස්සෙ අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මොකද අපිට විදේශ විනිමය අඩුයි. අපිට විදේශ විනිමය වැඩි කරගන්න තියෙනවා. විදේශ විනිමය අපට උවමනා ප්‍රමාණය ලැබෙනකල් ණය ගන්න තියෙනවා.

ණය ගන්න, ණය ගන්න අපේ ණය වැඩිවෙනවා. අපි දැන් බලන්නේ අපේ විදේශ විනිමය ප්‍රමාණය වැඩි කරගන්න, එකක් විදේශ රැකියාවලින්. සමහරු කියනවා විදේශ රැකියාවලට යන්න ඉඩ දෙන්න එපා කියනවා. මම ඇහුව කොහොමද ඒක කරන්නේ, මේ රට කූඩුවක දාලා තියන්නද. යන්න ඕන වුණොත් කොහෙන් හරි හොයාගෙන යනවා.

ඊට වඩා හොඳයි රටක් යන විදිහට මාර්ගය ඇති කරලා දෙන එක. මම යන්න එපා කිව්වට ඕගොල්ලෝ යන්න ඕන නම් ඉන්දියාවට ගිහින් හරි යයි. අපිට තියෙන්නේ උවමනා කණ්ඩායම් පුහුණු කරන්න. ඉදිරියට ගෙනියන්න. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් විදේශ රැකියා වැඩි වෙයි කියලා. ඒ වගේම නුපුහුණු මට්ටම වෙනුවට පුහුණු මට්ටමත් පුහුණු මට්ටමත් කාර්මික මට්ටමටත් අපිට ලබලා දෙන්න පුළුවන්.

එතනින් මෙහාට කාලයක් ඉඳලා එනවනේ. එතන ජීවත් වෙන්නේ නැහැනේ. ඩුබායිවල පැල්පත් ගහගෙන ඉන්නේ නැහැනේ. කටාර්වල පැල්පත් ගහන්න ඉඩ දෙන්නෙත් නැහැනේ. ඒ නිසා කාලයක් ගිහින් එන අයට ඒ වැඩසටහන හදන්න මං ඇමතිතුමාට කිව්වා. ඒක ඉදිරියට ගෙනියන්න. ඒ වගේම අපට අපනයන ආර්ථිකයකට යන්න තියෙනවා, විදේශ ආයෝජන ලබාගන්න තියෙනවා, සංචාරකයෝ ලබාගන්න තියෙනවා. අලුත් මාර්ග හොයන්න තියෙනවා.

එතනින් තමයි රට දියුණු කරන්න ඉන්නේ. ඒකෙදි මම තීරණය ගත්තා, අපේ අංශ ගණනාවක් තියෙනවා දියුණු කරන්න. එකක් තමයි අපේ කෘෂිකර්මය. අපේ නිෂ්පාදනය අඩුයි. අපිට පුළුවන්නම් අපේ වී නිෂ්පාදනය හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 08ක් කරන්න අපිට වියළි කලාපයේ ඉඩම්වල ගොවිතැන් කරන්න පුළුවන්.

මේ ඉඩම් වෙනත් බෝගවලට ගන්න පුළුවන්. අපනයන කෘෂිකර්මය යන්න පුළුවන්. කෘෂි නවීකරණයක් ඇති කරන්න ඕන. මේ රටේ තොරතුරු තාක්ෂණය තව දියුණු කරන්න ඕන. ලෝකයේ අපි පිටිපස්සෙන් ඉන්නේ අනික් අය දිහා බැලුවම. මම 78 කටාර්වලට ගියාම ගුවන්තොටුපලක් තිබුණේ නැහැ. ටකරන් ගහපු ෂෙඩ් වගයක් තිබුණෙ. අද කීදෙනෙක් ගිහින් තියෙනවද කටාර්වලට, කී දෙනෙක් ගිහින් තියෙනවද ඩුබායිවලට? පොඩි ගොඩනැගිල්ලක් ඒක. ඒ දිහා බලනකොට අපිට මොකද්ද වුණේ කියලා හිතෙන්න ඕන.

අපි දැන් බය නැතුව ඉස්සරහට යන්න ඕන. එහිදී විදේශ ආයෝජකයන් එනවා, සමාගම් ආයෝජනය කරනවා. ඒක හොඳයි. ඒකට අනුබල දෙන්න ඕන. ඒත්, මගේ බලා‍පොරොත්තුව එතනට සීමා නොකර අපේ සාමාන්‍ය ජනතාවත් මේ එක්කම උඩහට ගන්න. නැත්තං වෙන්නේ එක කොටසකට වාසි හම්බෙනවා, අනිත් කොටසට අවාසි වෙනවා. අමාරු කාලේ රට ගිහින් වැඩ කරලා ඩොලර් සීය දෙසිය එවූ අයට අවාසියි.

අනික් අයට වාසියි. ඒක දියුණු කරන්න අපි යන්නේ. මම පළමුවෙන්ම බැලුවේ ආර්ථිකය හැදුව නිසා අපේ අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධි ලැබෙන අයට ‘අස්වැසුම’ කියල තුන් ගුණයක් දෙන්න. ඒ ලක්ෂ දහ අට ලක්ෂ විසිහතර බවට පත්කරන්න. ලක්ෂ විසි හතරකට ‘අස්වැසුම’ ලැබෙන්නේ ජීවත් වෙන්න, තමන්ගේ ආදායම් මාර්ග දියුණු කරන්න. ඒ එක්කම මේ රටේ දුප්පත්කම නැති කරන්නට නම් කෘෂි ආර්ථිකය දියුණු කරන්න, කෘෂි ආර්ථිකය නවීකරණය කරන්න ඕනෑ.

කෘෂි ආර්ථිකය නවීකරණය කරලා සාමාන්‍ය ගොවීන්ටත් ‘ස්මාට් ඇග්‍රි කල්චර්’ යෙදෙන්න. තුන්වෙනුව අපේ ගොවි මහතුන්ට සින්නක්කර අයිති ඉඩම් ලබාදෙන්න ඕන. අයිතිය දෙන්නකෝ! කොළ කෑල්ලක් දීල ඔප්පුව කියන්නේ මොකටද? අයිතිය නැත්නම් ඔප්පුව නෙවෙයි ගිවිසුමක්. ඔප්පුව කියන්නෙ සින්නක්කර අයිතිය. සින්නක්කර අයිතියත් ලක්ෂ විස්සකට දෙනවා. නගරයේ තට්ටු නිවාසවල අයිතිය අඩු අදායම්ලාභීන් ලක්ෂ දෙකකට විතර දුන්නා. කඳුකරයේ ගම්මාන ඇති කරන්නට වතුකරයේ ජනතාවට තමන් ඉන්න ඉඩම් අරගෙන ගම්මානයක් කරන්න නිවාස හදන්න ඉඩ දෙනවා.

බිම් මට්ටමටම අපි අයිතිය අරන් දෙනවා ඉදිරියට ගෙනයන්න. ඒ වගේම කාන්තාවන්ට ණය දෙන්න, සුළු හා මධ්‍ය ව්‍යාපාරිකයන්ට රුපියල් බිලියන පනහක් ණය දෙන්න විදිහට මුදල් බිම් මට්ටමට අපි ගෙනත් තියෙනවා. රට දියුණු වෙනකොට බිම් මට්ටමත් දියුණු වෙන්න ඕන. උඩහට එන්න ඕන. නැත්නම් ස්වල්ප දෙනෙක් උඩහට ගිහින් ඒ අය දියුණු වෙලා අනිත් අය පල්ලෙහා ඉන්න බෑ. හැම කෙනාම උඩහට යන්න ඕනේ. බිම් මට්ටමේ ආදායම වැඩි වෙන්න ඕන. ස්වල්ප දෙනෙක්ගේ ආදායම දියුණු වෙලා මදි. ඒ වැඩසටහන් එක්ක තමයි අද මං ඉදිරියට යන්න බලන්නේ. ඒ නිසා අපි බලමු විශේෂ අපනයන ආර්ථිකයක් ඇති කරන්න.

තමන්ගේ ගම්මානයේ ආර්ථික දියුණුව තමන් බලාගන්න. රටේ ආර්ථික දියුණුව මං බලාගන්නම්. තමන්ගෙ ගම දියුණු කරනව නම් ඒකටත් අපි ආධාර උපකාර දෙන්නම්. එහෙම වැඩසටහනක් තමයි මෙතන තියෙන්නේ. මේක ඉදිරියටම යමු. අපේ අනාගතය එක්ක සෙල්ලම් කරන්න බැහැ. දේශපාලනය කියන්නේ බොරු පොරොන්දු දෙන එක නෙමෙයි. දේශපාලනය කියන්නේ කාගෙ මූණද වඩා හොඳ කියලා ඡන්දෙ දෙන එක නෙවෙයි. දේශපාලනය කියන්නේ තමන්ගේ මූණ කොහොමද හොඳ වෙන්නේ කියලා ඡන්දෙ දෙන එක. දේශපාලනය කියන්නේ තමන්ගේ අනාගතය කොහොමද කියල බලලා ඡන්දෙ දෙන එක.

ඒකෙදි අලුත් ක්‍රමයකට අපි යන්න ඕන. ඒකෙදි ඔබ සියලු දෙනාටම විශාලා සේවයක් කරන්න තියෙනවා.” යැයි ජනාධිපතිවරයා පැවසීය.


රට ගොඩනැගීම සම්බන්ධයෙන් ඇති වී තිබූ අවිශ්වාසය ගොඩ ගැනීමට ජනාධිපතිවරයාගේ නායකත්වයත් ඒ තුළ මුදල් අවභාවිත නොවී නිවැරදිව සංවර්ධනයට යෙදෙන බවට ඇති වූ විශ්වාසයත් හේතුවෙන් ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් රටට මුදල් එවීමට කටයුතු කළ බව එහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කර මහතා ‘විගමනික ශ්‍රමික හරසර’ ව්‍යවසායකයින් ලක්ෂයක් තැනීමේ ජාතික වැඩසටහන අමතමින් අවධාරණය කළේය.


රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනාට වැඳ ආචාර කරන බව කී අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.


“2016 අවුරුද්දෙ ඉඳලා ගත්තොත් ඩොලර් බිලියන 7.2ක්, 2018දී බිලියන 7.1ක්, 2019 වෙද්දී 6.7 දක්වා ඇවිල්ලා 2020දී ඩොලර් බිලියන 7.1ක් විදේශගත ශ්‍රමිකයෝ ප්‍රේෂණ එව්වා. ඒක 2021 ඩොලර් බිලියන 5.4කට අඩු වුණා. 2022 අවුරුද්දේ ඒක බිලියන 3.7කට අඩු වුණා. රට කඩාගෙන වැටෙන්න ප්‍රධාන වශයෙන් ඩොලර් අර්බුදය හේතුවක් බවට පත් වුණා. එහිදී ජනාධිපතිතුමනි, ඔබතුමා අපිට බාර දුන්නා.

එයින් පස්සේ මමත් ජගත් පුෂ්පකුමාර ඇමතිතුමා, අපේ අමාත්‍යංශ ලේකම්තුමාත් අමාත්‍යාංශයත් මේ කර්තව්‍ය භාරගෙන විදේශගත ශ්‍රමිකයන් සමග එකතුවෙලා 2022 අවුරුද්දෙන් පටන්ගෙන ඩොලර් බිලියන 5.9ක් දක්වා මේ ප්‍රමාණය ඉහළ නංවාගන්න පුළුවන්කම ලැබුණා. 2024 වෙනකොට ඩොලර් බිලියන 12 දක්වා රට ඇතුළට ප්‍රේෂණ ගෙන එන්නට මේ ඉන්න ශ්‍රමික ප්‍රජාව අපිට දායකත්වය ලබා දුන්නා.
ඩොලර් එවන්න එපා කියලා දේශපාලන නායකයෝ මාධ්‍යයට, පාරට ඇවිල්ලා කෑ ගැහුවා රට වට්ටන්න නම් අපි ඩොලර් එවන එක නවත්තමු කියලා. ඔබතුමා අපිට ඒ අභියෝගය බාර දුන්නම විදේශ සේවා නියුක්ති කාර්යාංශය ආර්ථික අර්බුද මැද හිටපු වෙලාවේ පුළුවන් වුණා විවිධ පුද්ගලයෝ, පරිත්‍යාගශීලීන් එකතු කරගෙන, ඒ වගේම දැන්වීම්වලින් මේ ගැන ලෝකෙම ඉන්න විගමනික ශ්‍රමිකයින්ට සල්ලි ටික එවන්න කියන්න.


ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී විවිධ අවස්ථාවලදී අපිට දුන් උපදෙස් අනුව මේ කර්තව්‍ය ඉෂ්ඨ කරලා අපි මේ වෙනකොට ඩොලර් බිලියන 12 දක්වා මේ රටට ගෙනල්ලා, සංචිතය සාක්ෂි ශක්තිමත් කරලා තෙල්, ගෑස්, කිරිපිටි ටික මේ රටට දෙන්න අපිට පුළුවන් වුණා.

අපි විදේශගත ශ්‍රමික ප්‍රජාව හැටියට ඔවුන්ට අද ආඩම්බරයෙන් රට ගොඩ ගන්නා කොටස්කරුවෙක්, පංගුකාරයෙක් වෙන්න පුළුවන් වුණා කියලා කියන්න පුළුවන්. විදේශ ප්‍රේෂණවලට සාපේක්ෂව විද්‍යුත් වාහන ගේන්න, බැංකු හරහා එවන්න ලංකා රෙමිට් පද්ධතිය ක්‍රියාත්මක කරන්න, ශ්‍රමිකයින් සඳහා ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙන්න, මිලියන 2.5 – මිලියන 10ක් දක්වා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පොලී ලබාගෙන ණය ලබාදෙන්න, ඒ වගේම හෝප්ගේට් ගුවන්තොටුපොළේදී විශේෂ පිවිසුමක් – විශේෂ කාර්ය මණ්ඩලයක් යොදලා ඔවුන්ට ගරුත්වය ලබා දෙන්න, සමාජ ආරක්ෂණ මණ්ඩලය සමග එකතු වෙලා ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්න, එන්වීකියු මට්ටම් සඳහා යන්න පෙර පුහුණුව වගේම ආර්පීඑල් ලබාගන්න රුපියල් ලක්ෂයක් දක්වා ප්‍රතිපූරණය කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරන්නට වැඩ පටන්ගත්තා. රැකියා සඳහා පළවෙනි වරට යන අයට රුපියල් 10,000ක වවුචරයක්, හය පාරකට වැඩියෙන් රට ගිහිල්ල තියෙනවා නම් රුපියල් 25,000කට වැඩි වවුචරයක් දීලා මේ තත්ත්වය වර්ධනය කළා. නිවාස සංවර්ධන අධිකාරිය එක්ක එකතුවෙලා අරමුදල් ලබා දෙන්න අපට පුළුවන්කම ලැබුණා.

කාර්යාංශය විසින් බිලියන දෙකක් මේ වන විට වෙන් කරලා තියෙනවා අද ඇවිල්ල ඉන්න ශ්‍රමික ප්‍රජාවට රුපියල් පනස්දහසකින් පටන් ගෙන දීමට. කාර්යාංශ පනතෙන් පත්වෙලා තියෙන ‘ප්‍රත්‍යානුකලනය’ නැත්නම් නැවත සමාජගත කිරීම යටතේ ලංකාව වටෙන් තෝරා ගන්නා ලක්ෂයක් දක්වා විදේශගත ශ්‍රමිකයන්ට පනස්දහසකින් පටන්ගෙන ලක්ෂයක් දක්වාත් දෙවෙනි අදියරට ගිහිල්ලා – ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් තෝරාගන්න අයට මිලියනයක් දක්වා තමන්ගේ ස්වයං රැකියාව වර්ධනය කරන්න සහාය දීලා රට ගොඩ ගන්න ජනාධිපතිතුමනි, ඔබතුමාගේ සංකල්පය වන ව්‍යවසායකයින් ගොඩනඟන සංකල්පය නිෂ්පාදන ආර්ථිකයක් හදන සංකල්පයට විගමනික ශ්‍රමිකයන් හැටියට දායකත්වය ලබා දෙන්නට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා.


බොහෝ දෙනා රටට සල්ලි එවන්න එපා කියද්දී සල්ලි ටික රටට එවලා මේ රට ගොඩ නගන්න, මේ රටේ කැඩිලා වැටිලා තිබුණු විශ්වාසය ගොඩනගන්න ඔබතුමාගේ නායකත්වය, ඔබතුමාගේ මග පෙන්වීම, ඒ වගේම රටට මුදල් ආවොත් මුදල් අවභාවිත වෙන්නේ නෑ, රටේ මුදල් නිවැරදි ලෙස සංවර්ධනයට යෙදෙනවා කියන විශ්වාසය අපේ විදේශගත ශ්‍රමිකයන්ට ඇති වුණා.

ඒ නිසා තමයි අපේ විදේශගත ශ්‍රමිකයෝ රටට ආදරය නොකරන පිරිස් කොච්චර එවන්න එපා කියලා කිව්වත් රටට ආදරය කරන රාජ තාන්ත්‍රිකයෙක් විදිහට, රටට ආදරය කරන සැබෑ මානව හිතවාදියෙක් විදිහට ඔබතුමා මේ රට භාර ගත්ත වෙලාවෙදි ඔබතුමන් කෙරේ විශ්වාසය තියමින් ලංකාවට සල්ලි එව්වේ. ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අපේ අමාත්‍යංශය අපේ සංවර්ධන නිලධාරීන් දැවැන්ත කර්තව්‍යයක් සිදු කළා.


ඒ සියලු දෙනාටත් රට වැටිච්ච තැනින් මේ රට ගොඩ ගන්න ජනාධිපතිතුමත් සමඟ අත්වැල් බැඳගත්තු සියලු දෙනාත් නැවතත් අපේ දරුවන්ට කිරිපිටි ටික බොන්න, ලයිට් ඇතුව පාඩම් කරන්න, නැවතත් අපේ අම්මල තාත්තලට බෙහෙත් නැතුව මැරෙන්නැතුව බලාගන්න, නැවතත් පෝලිම් නැතුව ජීවත් වෙන්න නිදහසේ පරිසරය හදන්න ඔබතුමාගේ නායකත්වය යටතේ සහයෝගය දීපු මේ සියලුම විගමනික ප්‍රජාවට ස්තුතියි, උත්තමාචාරය, ආයුබෝවන් නෙවෙයි ඔබතුමන්ලට වැඳලා ආචාර කරනවා රට ගොඩනගන්න දීපු සහයෝගයට.
ජනාධිපතිතුමනි, ඔබතුමන් මේ ගත්තු හයියට මේ විගමනික ප්‍රජාව අද ගමක් ගමක් ගානේ, විගමනික සමිති හදාගෙන විගමනික සංගම් හදාගෙන මේ ගමන ඉස්සරහට ගෙනියන්න ඔබත් සමග බලමුළු ගැන්විලා ඔබත් සමග ඒකරාශී වෙලා ඉන්නවා.” යැයි අමාත්‍යවරයා පැවසීය.”


වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්.ඒ.පී. විමලවීර, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මංගලා කරුණාතිලක, වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් දීප්ති කේ. ගුණරත්න, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. රත්නායක, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.බී. ජයසිංහ, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත්, වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් කේ. ජයරත්න, කුරුණෑගල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒ.එල්.යූ.එන්.පී. ලියනගේ, කම්කරු හා විදේශක රැකියා අමාත්‍යවරයාගේ උපදේශක පද්මිණී රත්නායක, පෞද්ගලික ලේකම් ශාන් යහම්පත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස්, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක, පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරියවසම් යනාදීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.