අම්බලන්තොට මාමඩල ඇලේගොඩ ප්‍රදේශයේදී ඊයේ (02 වැනිදා) රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු කපා කොටා ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලිසිය සඳහන් කළේය.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්තොට මාමඩල පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ ප්‍රභාත් ඉන්දික (29), රසික ප්‍රියදර්ශන (45) සහ උදයංග මල්ලිකාරච්චි (34) යන තිදෙනා බවට හඳුනාගෙන ඇත.
අම්බලන්තොට මාමඩල ඇලේගොඩ පිහිටි ප්‍රභාත් ඉන්දික නමැත්තාගේ නිවෙසට පැමිණි අට දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් ආරවුලක් ඇති කරගෙන තිබේ.
එහිදී සිදුවූ පහරදීමකින් බරපතළ තුවාල ලැබු පුද්ගලයන් තිදෙනකු මෙලෙස මියගොස් ඇත.
රුපියල් දහසක් වටිනා කසිප්පු බෝතලයක් රුපියල් එක්දහස් පන්සියයකට අලෙවි කිරීම සහ කසිප්පු සම්බන්ධ තොරතුරක් පොලිසියට ලබාදීම සම්බන්ධයෙන් මෙම ආරවුල හටගෙන ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
කඩු, කැති සහ පොලු වලින් කළ පහරදීම හේතුවෙන් හිසට වූ බරපතල තුවාල සහිතව පෙර කී පුද්ගලයන් තිදෙනා ප්‍රදේශවාසීන් විසින් අම්බලන්තොට ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබිණි. රෝහලට රැගෙන යන අතරතුරදී ඔවුන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.
පහර දීමට පැමිණි බව කියන කිහිපදෙනකු හඳුනාගෙන ඇති බව පොලිසිය කීවේය. අම්බලන්තොට පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේසේකර ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති