Global CEO සම්මානයෙන් පිදුම් ලැබූ ගයාන් වෙල්ලාල ලුණු සමාගමේ සභාපති ධුරයට

ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසඳය විසින් සංවිධානය කළ නායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී හොඳම ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනා අතරට තේරී පත් වූ ගයාන් වෙල්ලාල මහතා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලුණු සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මාලදිවයින හා මැලේසියාව යන රටවල සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික ආයතන කිහිපයක ප්‍රධාන විධායක නිලධාරිවරයෙක් ලෙස කටයුතු කර ඇති ගයාන් වෙල්ලාල මහතා නිෂ්පාදනය, විගණනය, මූල්‍යකරණය, හෝටල් ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය සහ අපනයනය වැනි ක්ෂේත්‍ර ගණනාවක වසර 20 ක හසල අත්දැකීම් ඇති අයෙකි.

ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය හා කොළඹ D.S. සේනානායක විද්‍යාල වල දීප්තිමත් ආදි සිසුවකු වන වෙල්ලාල මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය කළමණාකරණය පිළිබඳව විශේෂ උපාධිය හිමි කරගත් අතර එංගලන්තයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ (University Of Cardiff) ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙකි. මීට අමතරව ඔහු FCMA (UK) හා FCMA (Sri Lanka) වරලත් කළමණාකාර ගණකාධිකාරී සුදුසුකම් සම්පූර්ණ කර තිබෙයි.

තම සභාපතිත්වය යටතේ, යුද්ධය නිසා උතුරු ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ලුණු නිෂ්පාදනාගාරවල නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කර ලුණු නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් දේශීය වෙළඳපළ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමෙන් පසුව ලුණු අපනයනය සඳහා යොමු වීමටත් බලාපොරොත්තු වන බව ජාතික ලුණු සමාගමේ නව සභාපතිවරයා පැවසීය