කලකට පසුව යළි දුටු සංගාගේ පිති හරඹය

ඊයේ (22) ආරම්භ වූ International Masters League 2025 තරගාවලියේ පළමු තරගයෙන් කුමාර් සංගක්කාර නායකත්වය දැරූ ශ්‍රී ලංකා පිල පරදා ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට සචින් තෙන්ඩුල්කාර් ප්‍රමුඛ ඉන්දීය පිල සමත්විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 222ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.

එහිදී ඉන්දීය පිල වෙනුවෙන් ස්ටුවර්ට් බිනී පන්දු 31කින් හයේ පහර 7ක් සමඟින් ලකුණු 68ක් සහ යූසුෆ් පතාන් පන්දු 22 කදී හයේ පහර 6ක් සමඟින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත්විය.

ලකුණු 223ක දැවැන්ත ඉලකයක් හඹාගිය ශ්‍රී ලංකා පිලේ පිළිතුර ඉනිම කඩුලු 9කට ලකුණු 218ක් ලෙසින් සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නන් මෙහිදී සමත්වූයේ ලකුණු 4ක තියුණු ජයක් සිය කණ්ඩායම ඉදිරියේ සනිටුහන් කරමිනි.

කෙසේවෙතත් ඉන්දීය පිලේ මෙම දැවැන්ත ලකුණු පුවරුව හඹායාමේ දී යළිත් වරක් සිය අතීත සුපිරි පිතිහරඹය ප්‍රේක්ෂකයින් ඉදිරියේ විදහා පාමින් පන්දු 30කදී ලකුණු 51ක් ලබාගැනීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් නායක කුමාර සංගක්කාර මෙහිදී සමත් විය. 

තරගයේ අවසාන භාගයේ දී ජීවන් මෙන්ඩිස් පන්දු 17කදී හයේ පහර 3ක් සමඟින් ලකුණු 41 ක් සහ ඉසුරු උදාන පන්දු 7කදී හයේ පහර දෙකක් සමඟින් ලකුණු 23 ක් බැගින් වේගවත් පිතිහරඹයක් දියත් කිරීමට සමත් වුවද, පසුපෙළ පිතිකරුවන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණයක් කරා යාමට අවස්ථාව උදා වූයේ නැත.

ඉන්දියවේ දී පැවැත්වෙන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන International Masters League 2025 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව හා සත්කාරක ඉන්දියාව සමගින් බ.ඉ. කොදෙව්, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය නියෝජනය කරමින් කණ්ඩායම් 6ක් ක්‍රීඩාකරනු ලබයි. තරගාවලිය මාර්තු 16වනදා දක්වා පැවැත්වේ.

මීළඟ තරගය බ.ඉ. කොදෙව් හා ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨයින් අතර හෙට (24) දිනයේ දී පැවැත්වීමට නියමිතය.