සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක සුපිරි ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (04) රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 42.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණයි.
ඉන්දියාව මෙම පරාජය ලැබුවේ ඔවුන් පළමු කඩුල්ලට පන්දුවාර 13.3කදී ලකුණු 97ක ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගෙන සිටියදී වීමත් විශේෂත්වයකි.
ඉන්දීය ඉනිම මෙල්ල කිරීමේ සම්පූර්ණ බර කරට ගත් ජෙෆ්රි වැන්ඩර්සේ පළමු කඩුලු 06ම දවාගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාව දෙසට රැගෙන ආ අතර මෙම සුපිරි පන්දු යැවීම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව දඟ පන්දු යවන්නෙකු දැක්වූ තෙවැනි හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා අතරටද එක්වුණා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 35කින් ලකුණු 39ක් රැස්කිරීමට සමත් වූ අතර .කමිඳු මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 40 බැගින් රැස්කර ගත්තා.