230කගේ තරු ගැලවේ ?

සහකාර පොලිස් අධිකරීවරුන් 230කගේ උසස් වීම් අවලංගු කරමින් ඔවුන් තනතුරෙන් පහළ හෙළීමට කටයුතු කරනු ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

සහකාර පොලිස් අධීකාරීවරුන් පත් කිරීමේදී අසාධාරණයට ලක්වූ බව කියමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 136 දෙනෙක් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණි. මොවුන්ට සාධාරණය ඉටු කිරීම සදහා මෙසේ පොලිස් අධිකාරීවරුන් තනතුරෙන් පහළ හෙළිමට නියමිතව ඇත.

2021 වසරේදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පවත්වා එයට සහභාගි වූ නිලධාරීන් 500 දෙනකු අතරින් 230 දෙනකුට උසස්වීම් ලබාදෙන ලදී. එම 230 දෙනාගේ සුදුසුකම් යළි පරීක්ෂා කිරීමට අලුතින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පැවැත්වීමට යෝජනා වී ඇත.

2021 වසරේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මගින් දූෂිත නිලධාරීන්ටද ලකුණු ලබාදී ඇතැයි හෙළිවීම මත මෙලෙස නැවත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පැවැත්වීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් යෝජනා කර තිබේ.

මේ සම්බන්ධව පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල, නියෝජ්‍ය මහජන ආරක්ෂක ඇමැති සුනිල් වටගල, අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති රවී සෙනෙවිරත්න, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් නීති අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවා තිබිණි.

උසස්වීම් ලබාදීමේදී අසාධාරණයට ලක්වූ බව කියන නිලධාරීන් 136 දෙනා නියෝජනය කරමින් නිලධාරීහු පහළොස් දෙනෙක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. අසාධාරණයට ලක්වූ නිලධාරීන්ට සාධාරණය ඉටුවිය යුතු බව මෙහිදී ඇමැතිවරයා නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් අවධාරණය කර ඇත. ඒ අනුව මේ සඳහා අලුතින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පවත්වා අසාධාරණ ලෙස උසස් වූ නිලධාරීන් ඇත්නම් තනතුරින් පහළ හෙලීමට යෝජනා වී ඇත. එමෙන්ම අලුතින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල පවත්වා කාලය ගැනීමකින් තොරව අසාධාරණයට ලක්වූ නිලධාරීන් සුදුසුකම් සපුරා ඇති බැවින් ඔවුන්ටද උසස්වීම් ලබාදෙන ලෙසටද යෝජනා වී ඇත.

සහකාර පොලිස් අධිකාර ධුරයේ දැනටමත් ඇති පුරප්පාඩු 108 සම්පූර්ණ කර ඉතිරි නිලධාරීන් 24 දෙනාට අධි සේවක පදනම මත බඳවා ගන්නා ලෙසටද අසාධාරණයට ලක්වූ නිලධාරීහු රජයෙන් ඉල්ලා සිටිති.