තානාපති සේවයට දේශපාලන බලපෑම ගැන විදේශ සේවා සංගමයේ දැඩි අප්‍රසාදය

ලෝකයේ ප්‍රධාන රටවල තානාපතිවරුන් ලෙස දේශපාලන පත් කිරීම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි අප්‍රසාදය පළ කර සිටී.

ශ්‍රී ලංකා විදේශ සේවය තුළ අත්දැකීම් ඇති, වෘත්තීය විදේශ සේවා නිලධාරීන් සිටියදී මෙසේ තානාපති සේවය සදහා දේශපාලන පත් කිරීම් කිරීම, ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින්ම හෙළා දැක ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවය යනු රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සදහා විශේෂ පුහුණුව ලත් නිලධාරීන්ගෙන් සමන්විත සේවාවක් බව එම නිවේදනය මගින් සිහිපත් කර ඇති අතර වෘත්තීය විදේශ සේවයේ නිලධාරීන් පසෙක තබා දේශපාලන පත් කිරීම් කිරීම මගින් තානාපති සේවය හෑල්ලුවට ලක් වන බවද සදහන් කර තිබේ.

මෙසේ තානාපති කාර්යාල සදහා දේශපාලන පත් කිරීම් කිරීම ආණ්ඩුව මැතිවරණය අවස්ථාවේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයටත් පටහැනි බවද එම සංගමය සදහන් කරයි.

ආණ්ඩුව මැතිවරණය අවස්ථාවේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන්නේ වෘත්තීය තානාපති නිලධාරීන්ගේ වෘත්තීය විශිෂ්ඨත්වය මත ලබාදෙන ලකුණු ක්‍රමයක් මත පත් කිරීම් කරන බවයි. ඒ අනුව කටයුතු කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටී.

මෙසේ තානාපති සේවය සදහා දේශපාලන පත් කිරීම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිති අනුර කුමාර දිසානායකගෙන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඉල්ලා ඇතත් මේ වන තෙක් එම සාකච්ඡාව ලබාදීමටද කටයුතු කර නැත.