පෙබරවාරියේ IMF කැපකිරීම් 34% කර නැහැ – 36%ක් ගැන දන්නෙත් නැහැ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසීන්ට අදාළව පෙබරවාරි මාසය අවසානයට පෙර ඉටුකළ යුතු කැපවීම් අතරින් සියයට 34ක් මේ වන තෙක් සිදු කර නැතැයි වෙරිටේ රිසර්ච් ආයතනයේ අයි.එම්.එෆ් මීටරයෙන් පෙන්වා දෙනවා.

එම කැපකිරීම් අතර බැංකු පනත ඇතුළු පනත් හතරකට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට රජයට නොහැකි වී ඇති බවයි එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ.

දුර්වල ආණ්ඩුකරණයක් පැවතීම ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්, හඳුනාගෙන තිබෙන අතර, මෙම බරපතළ ගැටලු විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නව අණපනත් හඳුන්වාදීමට නිර්දේශ කර ඇති නමුත් ඒවා අතරින් පනත් 4ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවයි වෙරිටේ රිසර්ච් අනාවරණය කරන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවට දෙවන අයි.එම්.එෆ්. වාරිකය නිදහස් කරන ලද 2023 දෙසැම්බර්වලින් පසු ඉටු කරන බවට එකඟ වූ කැපවීම් අතරින් උද්ධමනයට ගැළපෙන අයුරින් ස්වයංක්‍රීයව සුරාබදු සංශෝධන කෙරෙන සූත්‍රයක් හඳුන්වා දීම, ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීම සඳහා නීති වෙනස් කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යන පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අයි.එම්.එෆ්. නිර්දේශ ලැබී ඇති නමුත් ඒවා නියමිත වේලාවට ඉටු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව ද එම සමීක්ෂණය පෙන්වා දෙනවා.

එමෙන් ම අයි.එම්.එෆ්. කැපවීම් ඉටු කළේ දැයි සොයා බැලීමට අවශ්‍ය දත්ත සොයා ගැනීමට නොහැකි වීම නිසා සියයට 36ක කැපවීම් ‘නොදන්නා’ යනුවෙන් වර්ගීකරණය කිරීමට සිදුවී ඇති බව ද එම සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!