සුරාබදු ආදායම කෝටි 20,000 පනී

සුරාබදු දෙපාර්තමේන්තුවේ වසර 120ක ඉතිහාසය තුළ ලද ඉහළම ආදායම වන රුපියල් බිලියන 200 (කෝටි 20,000) ඉක්මවූ මුදලක් මේ වන විට උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

2024 වර්ෂයේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 232ක් වූ අතර, එම ඉලක්කයෙන් ඉකුත් නොවැම්බර් 30 වන විට මෙම බිලියන 200ක ආදායම රැස් කරගෙන තිබීම විශේෂත්වයකි.

මෙම ආදායම මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු වශයෙන් හා දුම්කොළ බදු පනත යටතේ බදු ලෙස උපයා ගන්නා ලදි.

පසුගිය වසර කීපය තුළ සිදුවූ කොවිඩ් අවදානම හා මෙරට තුළ ඇති වූ ආර්ථික කඩාවැටීම් ඉදිරියේ සුරාබදු ආදායම මෙම ඉලක්කයට යෑමට ප්‍රධාන වශයෙන් පහත කරුණු බලපෑ බව දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දක්වා ඇත.

මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු වැඩි කිරීම, මත්පැන් නිෂ්පාදනය මත හඳුන්වා දෙන ලද නව ආරක්ෂිත මුද්‍රා වැඩසටහන, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් දිගින් දිගටම සිදු කරන ලද විශේෂ වැටලීම්, එනම්, ව්‍යාජ මත්පැන් නිෂ්පාදනායතන, ව්‍යාජ ආරක්ෂිත මුද්‍රා සම්බන්ධයෙන් සිදු කරන ලද වැටලීම් සිදු කිරීම හේතුවෙන් රට තුළ ව්‍යාජ මත්පැන් සංසරණය අඩු වීම මත රජයේ අනුමත මත්පැන් පරිභෝජනය වැඩි වීම මෙවැනි ආදායම් ඉලක්කයක් වෙත ළඟා වීමට හේතු වී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව මෙවැනි ඉලක්කයකට ළඟා වූයේ ප්‍රධාන වශයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට විශාල මානව සම්පත් හිඟයක් පවතින අවස්ථාවකදී වීම ද විශේෂයෙන් සඳහන් කරන බව ද එම නිවේදනයේ දැක්වේ.