වාර්ගික ගැටලු නැති ලංකාවේ ආයෝජන සඳහා ‘ඇමති මනූෂගෙන්’ ඩයස්පෝරාවට ආරාධනා

“අපේ ඩයස්පෝරාව උනන්දුවෙන් බලාගෙන ඉන්නේ ලංකාවට ඇවිත් ආයෝජනය කරලා ලංකාව දියුණු කරන්න. කිලිනොච්චියේ ව්‍යාපාර බොහොමයක් ඩයස්පෝරාවේ අයගෙ. ඒ ඩයස්පෝරාවට අපි ආරාධනා, ආයාචනා කරනවා මෙහෙට එන්න කියා. මෙහෙ ඉඩම් ප්‍රශ්න දැන් විසඳිලා තියෙන්නේ රටේ වාර්ගික ප්‍රශ්න නැති වෙන විදිහට දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පරිසරය හදලා තියෙනවා. දැන් අපි රට වෙනුවෙන් එකට එකතු වෙන්න ඕන වෙලාව. ජාති, ආගම්, කුල, පක්ෂ පැත්තකට දාන්න ඕන වෙලාව. අපි රට ගොඩ නගන්න ඕන වෙලාව. ඒ නිසා ලංකාවත් එක්ක එකතු වෙලා එකට අපි රට ගොඩනගන්න හැමදෙනාටම අපි ආරාධනා කරනවා.”

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙසේ ප්‍රකාශ කළේ ‘කිලිනොච්චිය – ජයගමු ශ්‍රී ලංකා’ දිස්ත්‍රික් ජංගම වැඩසටහනේ දෙවැනි දින වැඩසටහනක් වන ‘ස්මාට් යූත් ක්ලබ්’ සභාව අද (13) දිනයේ ආමන්ත්‍රණය කරමිනි.

රට ආර්ථික වශයෙන් වැටුණු මොහොතේ ඒ සඳහා දායකත්වය දැක්වූයේ රටට ඩොලර් බිලියන 12ක් එවූ විදේශගත ශ්‍රමිකයින් බව කී අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ ජාත්‍යන්තර ව්‍යාපාරික ඉලෝන් මස්ක්ට ලංකාවේ ව්‍යාපාර පටන්ගැනීම සඳහා ජනාධිපතිවරයා මූලික අවසරය ලබා දී ඇති බවයි.

“මේ රටේ අය රට ගිහිල්ලා, සල්ලි හොයාගෙන, දැනුමත් එක්ක අත්දැකීම් අරගෙන ඇවිල්ලා ලංකාවේ හොඳ ව්‍යවසායකයින් වෙන්න ඕනේ. හැමදාම රට ඉන්න ඕනේ නෑ. අද අපි සුභාරංචියක් ගෙනාවා රට යන්න ඉන්න අයට අවශ්‍ය සියලු දේවල් එක්ක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළාත් කාර්යාලය අද විවෘත කිරීම ගැන. අපි ලෝකෙ කොයි රටක පදිංචි වුණත් අපේ රටේ තියෙන නිදහස, පිළිගැනීම, ගරුත්වය අපිට නෑ. ඕනම තැනක ගිහින් වැඩ කරන්න රස්සාව කරන්න. නමුත්, අපේ ලස්සන රට කියන හැඟීම තියෙන්නේ.

මීට අවුරුදු තිහකට කලින් තෙල්, ලයිට්, කෑම බීම නැතිව ඔබේ අයියලා, අක්කලා අම්මලා තාත්තලා ගොඩාක් දුක් වින්දා. ඔවුන් ඉගෙනගත්තේ බෝම්බ සද්දේ ඇහි ඇහී. බැරල් ඇතුළෙ ඔබව දමාගෙන ඔබේ අම්මලා ආරක්ෂා කළා. දකුණේ කිවිඳියක් කවියක් ලියනවා ඔබලා බැරල් ඇතුළෙ පාඩම් කරලා ඔබේ ජීවිත අමාරුවෙන් ගොඩනගා ගත් බවට. ඒ වුණාට අපේ පළාත්වල අයට තෙල්, කරන්ට්, බෙහෙත් නැතිව මාස කීපයක් ඉන්න බැරි වුණා. ඒ වෙලාවේ අපේ ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නය වෙලාවේ ඩොලර් එවන්න කියා අපේ විදේශගත ශ්‍රමිකයන්ට, ඩයස්පෝරාවට ආරාධනා කරලා ඒ වෙලාවේ සහන ලබා දුන්නා. ඒකට ඇහුම්කන් දීපු අපේ විදේශගත ශ්‍රමිකයෝ අපිට ඩොලර් බිලියන 12ක් සල්ලි එව්වා.

රට දියුණු කරන්න තරුණ පරපුර ආයෝජකයෝ වෙන්න ඕන. හැම වෙලේම නෙගටිව්ව හිතන ඇතැම් දේශපාලන නායකයින්ගේ දේවලට අහුවෙන්නේ නැතිව හැම තිස්සෙම ධනාත්මකව හිතන තරුණ පරපුරක් අපිට ඕනේ. පළවෙනියෙන් රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග භාර අරගත්තම ‘හා දැන් මටත් දෙන්න’ කියලා හැමෝම කියනවා.

අපිට 1948ට කලින් අපේ අදහස් හුවමාරු කරගන්න තිබුණ අයිතිය නැති වුණා. 1956 උතුරත් දකුණත් යාවෙන්න නොදී පවුරු බැන්දා සිංහල රාජ්‍ය භාෂාව කරමින්. යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. මුස්ලිම් ජනතාව වෙනම කොන් කළා. එහෙම කරලා උතුරත් දකුණත් යාවෙන්න නොදී වෙන් කළා. ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කියලා දේශපාලනඥයින් කියන ඒවට බය වෙන්නේ නැතිව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔහුව ලංකාවට ගෙන්වනවා. ලංකාවේ ව්‍යාපාර පටන්ගන්න ඔහුට ආරාධනා කරලා ‘ස්පේස් එක්ස්’ කටයුතු කරන්න මූලික අවසරයත් ලබා දීලා ඉවරයි. කොළඹ ආර්. ප්‍රේමදාස වගේ ක්‍රීඩාංගනයක් යාපනයේ නෑ කියලා හැමෝම දන්නවා. ‘එහෙම එකක් නැද්ද’ කියලා අහන්නේ උතුරට සලකලා නෑ නේද කියලා අහලා ජාතිවාදය අවුස්සන්නයි. වෛරය හදන්න. රට ගොඩනැගෙනකොට නැවත වතාවක් ඔළු නරක් කරන්නයි එහෙම කරන්නේ. 2048 දියුණු රටක් කියනකොට ඕගොල්ලො ඉඳීද කියලා සමහරු අහනවා. කවුරු ඉඳීද අපි දන්නේ නෑ. මේ තීන්දු තීරණ ගන්නේ ඊළඟ පරම්පරාවට හරි ඒකෙ ප්‍රතිඵල ලැබෙන්න. නැත්නම් මේ ලෝකේ කවදාවත් දියුණු වෙන්නේ නෑ.” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ස්මාට් යූත් ක්ලබ් වැඩසටහනට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර, අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්.එම්. පියතිස්ස, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන්, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.එච්.එන්.ආර්. කිරිඇල්ල, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක ලේකම් අනුර ලියන්වල, කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන ජෙෆ් ගුණවර්ධන හා ඒ.එල්.ඒ. හසාම්, දොන් බොස්කෝ කාර්මික පාසලේ ගරු නදීප් සංජීව, කිලිනොච්චි එක්සත් ජාතික පක්ෂ සංවිධායක වෛද්‍ය විජයනාදන් ඇතුළු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවලට අනුබද්ධ ආයතනවල නිලධාරීන්, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන්, රජයේ සේවකයන් සහ විගමනික ශ්‍රමික පිරිස් පවුල්වල සාමාජිකයෝ සහභාගි වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!