රු 370කට ගන්න පුළුවන් ඖෂධය ‘රු 79,000කට දුන් සමාගමේ නෑයෝ ‘ පාර්ලිමේන්තුවේ

රුපියල් 370 කට මිලදී ගැනීමට හැකියාව ඇති ඖෂධයක් රුපියල් 70000 කට අධික මුදලකට මිලදී ගැනීමට සමාගමකට අවසර ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදීපැවසීය.

හෘද රෝග සැත්කම් සඳහා යොදාගන්නා මෙම ඖෂධය අධික මුදලකට මිලදී ගැනීමෙන් ඖෂධ මාෆියාවේ තරම තහවුරු වන බවත් මේ සම්බන්ධ සම්පූර්ණ ප්‍රකාෂයක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවේදී සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.

වෙනත් සමාගම්වලට ලියාපදිංචි වීමට ඉඩනොදී තනි සමාගමක් ලෙස මෙම ඖෂධය ගෙන්වීමෙන් ඒකාධිකාරියක් ඇතිකර ඔවුන් ඉදිරිපත් කර ඇති මිලට රජය මගින් ඖෂධ ලබාගෙන මෙම වංචාව සිදුකර ඇති බවත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

2019 සිට 2023 දක්වා මෙම ඖෂධය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 342.49 ක් වැය කර ඇති බවත් එහිදී 76000 දක්වා විවිධ මිලගණන් වලට හෘද රෝග සැත්කම් සඳහා මෙම ඖෂධය ගෙන්වා ඇති බවත් ඔහු කීවේය.

ඖෂධ ගෙන්වා ඇති මෙම සමාගමට දේශපාලන සම්බන්ධතා ඇති බවත් මේ සමාගම සමග ඥාති සබදතා ඇති කිහිපදෙනෙකුම පාර්ලිමේන්තුවේ සිටින බවත් ජයතිස්ස මහතා පැවසීය.