මාර්ග සංවර්ධන අධිකාරිය ‘පිට පැනලා’ කෝටි 14715ක් වැය කරලා

මාර්ග සංවර්ධන අධිකාරිය තම  විෂය  පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දා හතර දහස් හත්සිය පහළොවක් (14715ක් ) වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මෙම මුදල වැය කර ඇත්තේ 2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදී බවද එම වාර්තාවේ දැක්වේ.

මෙම මුදලට මගේ නැගුම ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මාර්ග කිලෝමීටර් 6 426 ක් ප්‍රතිසංස්කරණය අලුත් වැඩියාව සහ සංවර්ධන කටයුතු සඳහා වැය කළ රුපියල් කෝටි 381ද ඇතුළත්වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

අධිකාරියේ විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය යටතේ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.

මේ අතර සමස්ත මාර්ග පද්ධතියේ දුර ප්‍රමාණයෙන් සියයට 73 ක ප්‍රතිශතයක් වූ කිලෝමීටර් 8958 ක මාර්ගයන්හි වූ වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනවල දක්වා නොතිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.

තවද මාර්ග පද්ධති සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවක් පත් කර මාර්ග පද්ධති සංවර්ධනය සහ නඩත්තුව සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබූ බවද විගණන වාර්තාව පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.