ශ්‍රී ලංකන් එයාර් ලයින්, ඛනිජ තෙල් සහ විදුලි බල මණ්ඩලය ලාභ ලබලා ?

ශ්‍රී ලංකන් එයාර් ලයින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය 2023 වසරේදී ලාබ ලබා ඇතැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම පැවසුවේය.

පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්ණවලට පිළිතුරුදෙමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 73.254 මුදලක් පාඩු වෙලා තියෙනවා. 2023 දී බිලියන 3.8ක ලාභයක් ලබාගෙන තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වසරේදී බිලියන 617 පාඩුවක් සිදුව තිබෙනවා. 2023 වසරේදී බිලියන 120 ලාභයක් ලබා තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලය 2022 වසරේදී බිලියන 298ක් පාඩු ලබා තිබෙනවා. 2023 බිලියන 61ක් ලාභ ලබා තිබෙනවා.

රවි කරුණානායක – මේ ආයතන අනූවේ 2022 දී සම්පූර්ණ අලාභය බිලියන 820යි. 2023 දී ලාභය බිලියන 784යි.

දැන් ඇමැතිතුමා දුන්න උත්තරයේ සදහන් ආයතන 3ක් ට්‍රිලියන 1ක අලාභයක් 2022 දී ලබා තිබෙනවා. 2023 විට බිලියන 200ක ලාභයක් ලබා තිබෙනවා. මේ ඇතිවී තිබෙන්නේ පසුගිය පාලනය තුළ මූල්‍ය විනයක් නැති නිසාද? රජය අසාධාරණ ලාභයක් ලබා තිබෙන නිසාද? තෙල් මිල රුපියල් 160කින් අඩු කරන්නේ කවදාද?

හර්ශණ සූරියප්පෙරුම – මේ ආයතන අදූරදර්ශී ලෙස පාලනය කළ නිසා තමයි පාඩු ලබා තිබෙන්නේ. මේවායේ මිල තීරණය කරන විට පිරිවැය අනුව මිල තීරණය කළ යුතුයි. රාජ්‍ය ආයතන ජනතාව පිට බරපැටවෙන ආයතන නිසි ආකරයෙන් කළමනාකරණය කළ යුතුයි. ජනතාවට බර පටවනවා වෙනුවට සහන ලබාදී මිල තීරණය කරනවා.

රවි කරුණානායක – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව ශ්‍රී ලංකන් ආයතනය වගේ ආයතන පුද්ගලිකරණය කරනවාද? නැතිනම් අලාභය දරාගෙන කටයතු කරනවාද?

හර්ෂණ සූරියප්පෙරුම – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පමණක් භාවිතාවට නොගෙන ගුවන් යානා 3ක් ගෙනවිත් මාසයකට ඩොලර් මිලියන ගානක් ගෙවා තිබෙනවා. මේ යානා තුන පාක් කරලා තියෙනවා. ඒවා පාවිච්චියට ගත්තේ නෑ. ඔබලා ආයතන පාඩු කරලා ඒවා විකුණන එක. අපේ ක්‍රමය අකාර්යක්ෂම කළමනාකරණය වෙනුවට කාර්යක්ෂම පාලනයක් කරනවා. මේ ආයතන ඉදිරියේදී පුද්ගලික අංශ කැදවනවාද, රජය හා පුද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනවාද කියලා දැනුවත් කරන්න කියලා ඒ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී කටයුතු කළ හැකියි.