කොන්දේසි මත දුමින්දට ඇප

රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

ඒ අනුව සැකකරු රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.

එම ඇපකරුවන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් විය යුතු බව නියෝග කළ විනිසුරුවරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් සඳහන් කළා.

එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීය යුතු බවටත් නියෝගයක් නිකුත් කරන ලැබුවා.

සැකකරුට එරෙහිව නඩු පැවරීමට නම් ඔහු සන්තකයේ ගිනි අවියක් තිබි අත්අඩංගුවට පත්ව තිබිය යුතු බව පෙන්වා දුන් නීතිඥවරයා එහෙත් මෙම සිද්ධියේදී සැකකරු සන්තකයේ ගිනි අවියක් නොතිබූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට කරුණු දක්වා සිටියා.

ඒ අනුව මෙම අවස්ථාවේදී ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මත සැකකරුට එරෙහිව නඩු නිමිත්තක් පවත්වාගෙන යාමට නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.